අබුඩාබි T10 ලීගය අදින් ඇරඹෙයි !!!

අබුඩාබි T10 තරගාවලියේ 2021 වසරට අදාල තරග වාරය අද දිනයේදී ආරම්භ වීමට නියමිතය. තරගාවලිය සති 2ක් මුලුල්ලේ පැවැත්වෙන අතර තරගාවලියට තරග 35ක් ඇතුළත්ය. කණ්ඩායම් 6ක සහභාගිත්වයෙන් පැවැත්වෙන තරගාවලියේ අවසන් මහා තරගය එළඹෙන දෙසැම්බර් මස 4වනදා පැවැත්වීමට නියමිතය.

මෙවර තරගාවලිය වෙනුවෙන් ශ්‍රි ලංකා ක්‍රීඩකයන් කිහිපදෙනෙකු එක් වෙයි. ඒ අතරට ශ්‍රි ලංකා සීමිත පන්දුවාර නායක දසුන් ශානක මෙන්ම විස්සයි විස්ස ජාත්‍යන්තර පන්දු යවන්නන් අතර ප්‍රමුඛයා වන වනිදු හසරංගද ඇතුළත්ය. මෙවර තරගාවලියේ Chennai Braves කණ්ඩායම මෙහෙයවීමේ වගකීමද පැවරී අත්තේ දසුන් ශානකටයි. චෙන්නායි බ්‍රේව්ස් කණ්ඩායමට ශ්‍රි ලංකා ක්‍රීඩකයන් සිව්දෙනෙකු ඇතුළත්ය.

තුන් ඉරියව් ක්‍රීඩක චාමික කරුණාරත්න හා මහීෂ් තීක්ෂණද චෙන්නායි බ්‍රේව්ස් කණ්ඩායමට ඇතුළත්ව සිටි නමුත් චාමික කොදෙව් ටෙස්ට් තරගාවලියට නම් කෙරුනු ශ්‍රි ලංකා සංචිතයට ඇතුළත්වීම හේතුවෙන් හා මහීෂ් තීක්ෂණ විවේක ගැනීමට තීරණය කිරීම හේතුවෙන් ඔවුන් දෙදෙනා තරගාවලියට එක් නොවනු ඇත. එමෙන්ම වේගපන්දු යවන ක්‍රීඩක දුෂ්මන්ත චමීරද මෙම කණ්ඩායමට ඇතුළත්ව සිටි නමුත් ඔහුද මෙවර තරගාවලියට ක්‍රීඩා නොකරයි.

සමාරම්භක දිනය වන අද දිනයේදී තරග 2ක් පැවැත්වෙන අතර එම තරගයන්හිදී උපුල් තරංග Northern Warriors කණ්ඩායම වෙනුවෙන්ද ඉසුරු උදාන Bangla Tigers කණ්ඩායමද නියෝජනය කරනු ඇත.
T10 තරගාවලියට ක්‍රීඩා කරන ශ්‍රී ලංකා ක්‍රීඩකයන්

දසුන් ශානක , භානුක රාජපක්ෂ, ඇන්ජලෝ පෙරේරා, ධනංජය ලක්ෂාන් – චෙන්නායි බ්‍රේව්ස්
වනිදු හසරංග – ඩෙකෑන් ග්ලැඩියේටර්ස
උපුල් තරංග – නදර්න් වොරියස්
ඉසුරු උදාන – බංග්ලා ටයිගර්ස්

Leave a comment

Creedanet