ක්‍රීඩා වටරවුම – සැප්තැම්බර් 16

රිශාබ් පාන්ට් දිල්ලි නායකත්වයට

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ ඉතිරි තරග වෙනුවෙන් දිල්ලි කැපිටල්ස් කණ්ඩායමේ නායකත්වය තවදුරටත් රිෂාබ් පාන්ට් වෙත ලබාදීමට දිල්ලි කණ්ඩායම කටයුතු කොට ඇත. දිල්ලි කැපිටල්ස් කණ්ඩායම නිළ නිවේදනයක් නිකුත් කරමින් මේ පිළිබදව තහවුරු කොට ඇත. දිල්ලි කැපිටල්ස් කණ්ඩායම තරගාවලියේ ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණහි රැදී සිටින්නේ මුහුණ දුන් තරග 8 අතුරින් 6කම ජයග්‍රහණය හිමිකරගනිමිනි. දිල්ලි කණ්ඩායම මුහුණ දෙන පළමු තරගය එළඹෙන සැප්තැම්බර් මස 22වනදා හයිද්‍රාබාද් කණ්ඩායමට එරෙහිව පැවැත්වේ.

ඉන්දීය කණ්ඩායමේ නවසීලන්ත සංචාරය කල් යයි

ඉන්දීය කණ්ඩායමේ නවසීලන්ත සංචාරය එළඹෙන වසර තෙක් කල් දැමීමට තීරණය කොට ඇත. මෙම වසරේ අගභාගයේදී ලෝක කුසලාන සුපර් ලීග් තරගාවලියට අයත් තරග 3ක් වෙනුවෙන් ඉන්දීය කණ්ඩායම නවසීලන්ත සංචාරයට එක්වීමට නියමිතව තිබුණි. මෙම තරගාවලිය එළඹෙන වසරේ ඕස්ට්‍රේලියාවේ පැවැත්වෙන පන්දුවාර විස්ස ලෝක කුසලාන තරගාවලියෙන් අනතුරුව පැවැත්වෙන බව නවසීලන්ත ක්‍රිකට් ආයතන ප්‍රකාශකයෙකු තහවුරු කොට ඇත. කෙසේ නමුත් නවසීලන්ත කණ්ඩායම මෙම වසරේ නොවැම්බර් මසදී ටෙස්ට් තරග 2ක් හා විස්සයි විස්ස තරග 3ක් වෙනුවෙන් ඉන්දියාවෙහි සංචාරය කිරීමට නියමිතය.

Bangla Tigers කණ්ඩායමේ පුහුණුකරු ධූරයේ වෙනසක්

බංග්ලා ටයිගර්ස් කණ්ඩායමෙහි ප්‍රධාන පුහුණුකරු ධූරයට හිටපු ඕස්ට්‍රේලියානු පුහුණුකරු ස්ටෘවට් ලෝ පත් කොට ඇත. එමෙන්ම කණ්ඩායමේ පිතිකරණ පුහුණුකරු වශයෙන් හිටපු එංගලන්ත කඩුලු රකින පුහුණුකරු පෝල් නික්ස්ක් පත්කොට ඇත. හිටපු ඕස්ට්‍රේලියානු වේගපන්දු යවන ක්‍රීඩක ශෝන් ටේට් බංග්ලා ටයිගර්ස් කණ්ඩායමෙහි වේගපන්දු පුහුණුකරු ලෙසින් පත්කොට ඇත. එළඹෙන තරගවාරය වෙනුවෙන් කණ්ඩායමේ නායකත්වය වෙනුවෙන් හිටපු දකුණු අප්‍රිකානු නායක ෆැෆ් ඩුප්ලේසිස් මින් පෙර නම් කෙරිණි.

විරාට් කෝලි ඉන්දීය විස්සයි විස්ස නායකත්වයෙන් ඉවත්වෙයි.

එළඹෙන පන්දුවාර විස්ස ලෝක කුසලාන තරගාවලියෙන් අනතුරුව විස්සයි විස්ස නායකත්වයෙන් ඉවත්වීමට විරාට් කෝලි තීරණය කොට ඇත. විරාට් කෝලිගේ නායකත්වය යටතේ ඉන්දීය කණ්ඩායම විස්සයි විස්ස තරග 45කට ක්‍රීඩා කොට ඇති අතර ඉන් තරග 27ක් ජයග්‍රහණය කිරීමට ඉන්දීය කණ්ඩායම සමත් වද්දී තරග 14ක් පරාජයට පත් විය. කෝලි විස්සයි විස්ස පිටියේ තරග 90කට ක්‍රීඩා කරමින් ලකුණු 3159ක් රැස්කොට ඇත්තේ අර්ධ ශතක 28ක් සමගිනි. කෝලිගෙන් අනතුරුව ඉන්දීය කණ්ඩායමේ නායකත්වය රෝහිත් ෂර්මාට හිමිවීමට වැඩි ඉඩකඩක් පවතී.

එංගලන්තය පාපන්දු ශ්‍රේණිගතකිරීම්හි ඉහළට

එංගලන්ත පාපන්දු කණ්ඩායම FIFA ශ්‍රේණිගතකිරීම්හි තෙවන ස්ථානය තෙක් ඉදිරියට පැමිණීමට සමත් වී ඇත. ඒ අනුව 2012 වසරෙන් අනතුරුව එංගලන්ත කණ්ඩායම ශ්‍රේණිගතකිරීම්හි තෙවන ස්ථානය තෙක් ඉදිරියට පැමිණි පළමු අවස්ථාව බවට මෙය පත් විය. ලෝක පාපන්දු ශ්‍රේණිගතකිරීම්හි පෙරමුණ බෙල්ජියම් කණ්ඩායම සතුය

Leave a comment

Creedanet