ක්‍රීඩා වටරවුම – සැප්තැම්බර් 15

නවතම ජාත්‍යන්තර විස්සයි විස්ස ශ්‍රේණිගතකිරීම් ලයිස්තුව ප්‍රකාශයට පත් කෙරේ.

නවතම ජාත්‍යන්තර විස්සයි විස්ස ශ්‍රේණිගතකිරීම් ලයිස්තුව අද දිනයේදී ප්‍රකාශයට පත් කෙරිණි. ඒ අනුව පන්දු යවන්නන් අතර තවදුරටත් පෙරමුණ හිමිකරගැනීමට ටබ්රායිස් ශම්සි සමත්විය. එහි දෙවන ස්ථානය ශ්‍රී ලංකා සුපිරි දගපන්දු යවන ක්‍රීඩක වනිදු හසරංග සතුය. පිතිකරුවන් ශ්‍රේණිගතකිරීම් ලයිස්තුවෙහි අටවන ස්ථානය තෙක් ඉදිරියට පැමිණීමට ක්වින්ටන් ඩි කොක් සමත්ව ඇත්තේ සිය විස්සයි විස්ස දිවියේ ඉහලම ප්‍රසාද ලකුණු සංඛ්‍යාවද හිමිකරගනිමිනි. එමෙන්ම රීසා හෙන්රික්ස් පිතිකරුවන් අතර විසිවන ස්ථානය තෙක්ද කුසල් පෙරේරා 38වන ස්ථානය තෙක්ද ඉදිරියට පැමිණීමට සමත් වී ඇත.

IPL තරග නැරඹීමට ප්‍රේක්ෂකයන්ට අවසර

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ ඉතිරි තරග එළඹෙන සැප්තැම්බර් මස 19වනදා ආරම්භ වීමට නියමිතය. චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම හා මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම අතර පැවැත්වෙන තරගය නැරඹීමට ප්‍රේක්ෂකයන්ට අවස්ථාව හිමි කොට දීමට ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය අවස්ථාව උදා කර දී ඇත. ඒ අනුව සීමිත ප්‍රේක්ෂක සංඛ්‍යාවකට තරගාවලිය නැරඹීමට අවස්ථාව හිමි වේ.

ඉන්දීය පුහුණුකරු ධූරයේ වෙනසක් ?

ඉන්දීය ප්‍රධාන පුහුණුකරු රවී ශාස්ත්‍රි එළඹෙන පන්දුවාර විස්ස ලෝක කුසලාන තරගාවලියෙන් පසු ධූරයෙන් ඉවත්වීමට තීරණය කොට ඇති බවට news18 වෙබ් අඩවිය වාර්තා කොට ඇත. ලෝක කුසලාන තරගාවලියෙන් පසු සිය ධූරයේ රැදීමට තවදුරටත් රවී ශාස්ත්‍රිට අනවශ්‍ය බව ඉන්දීය ක්‍රිකට් ආයතනය ප්‍රකාශකයෙකු සදහන් කොට ඇත. 2017 වසරේ සිට 2019 වසරේ අගෝස්තු මස තෙක් රවී ශාස්ත්‍රි ඉන්දීය ප්‍රධාන පුහුණුකරු ධූරය දැරූ අතර ඉන් පසු තවත් වසර 2කට ඔහුගේ ධූර කාලය දිගු කෙරිණි.

කොදෙව් ප්‍රබලයා නිවේදක දිවියට සමු දෙයි.

හිටපු බටහිර ඉන්දීය කොදෙව් වේගපන්දු යවන ක්‍රීඩක මයිකල් හෝල්ඩින් සිය විස්තර විචාරක දිවියට සමුදීමට තීරණය කොට ඇත. මයිකල් හෝල්ඩින් වසර 20ක පමණ කාලයක් රූපවාහිනි විස්තර විචාරකයෙකු ලෙසින් කටයුතු කොට ඇත. 66 හැවිරිදි වියෙහි පසුවන හෝල්ඩින් Sky Sports නාලිකාවෙහි විස්තර විචාරකයෙකු ලෙසින් කටයුතු කළ අතර 2021 වසරෙන් අනතුරුව ඔහු විස්තර විචාරක කටයුතු වලින් ඉවත් වනු ඇත. මයිකල් හෝල්ඩින් බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම වෙනුවෙන් ටෙස්ට් තරග 60ක් හා එක්දින තරග 102ක් ක්‍රීඩා කරමින් කඩුලු 391ක් දවාගැනීමට සමත් විය.

ඩිවිලියස්ගෙන් ශතකයක්

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ රෝයල් චැලේන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම සහභාගි වූ පුහුණු තරගයක් ඊයේ දිනයේදී පැවැත්විණි. දේව්දත් පඩික්කාල්ගේ හා හර්ෂාල් පටෙල්ගේ කණ්ඩායම් අතර පැවති තරගයේදී ඒබී ඩිවිලියස් ශතකයක් රැස්කිරීමට සමත් වී ඇත.  ඩිවිලියස් නියෝජනය කළ හර්ෂාල්ගේ කණ්ඩායම නියමිත පන්දුවාර විස්ස තුළ කඩුලු 4කට ලකුණු 212ක් රැස්කළහ. ඩිවිලියස් පන්දු 46කදී හතරේ පහර 7ක් හා හයේ පහර 10ක් සමගින් ලකුණු 104ක් රැස්කලේය. පඩික්කාල්ගේ කණ්ඩායම කඩුලු 3ක් පමණක් දැවී ලකුණු 216ක් රැස්කරමින් තරගය ජයගැනීමට සමත් විය. එහිදී KS භාරට්ද අගනා ලකුණු 95ක් රැස්කිරීමට සමත් වී ඇත

Leave a comment

Creedanet