කොදෙව් දේශය බිහිකළ ප්‍රහාරකයාගේ ජන්මදිනය අදයි !!!

බටහිර ඉන්දීය කොදෙව් දේශය බිහිකළ විස්සයි විස්ස පිටියේ දැවැන්තයෙකු වන Universe Boss යන අන්වර්ථ නාමය පටබැදි ක්‍රිස්ටෝපර් හෙන්රි ගේල් අද දිනයේදී සිය 42වන ජන්මදිනය සමරයි. වසර 1979හි අද වැනි දිනක ජැමෙයිකාවෙහිදී උපත ලද ක්‍රිස් ගේල් ලූකාස් ක්‍රිකට් සමාජය නියෝජනය කරමින් සිය ක්‍රිකට් දිවිය ආරම්භ කළේය. වරෙක ක්‍රිස් ගේල් ප්‍රකාශ කොට ඇත්තේ ලූකස් ක්‍රීඩා සමාජය නොවන්නට තමා අද කොහේ සිටින්නේදැයි නොදන්නා බවයි. ඔහු සමහර විට තවමත් වීදිවල සිටිනු ඇතැයිද ඔහුගේ අදහසයි.

ක්‍රිස් ගේල් වසර 1999දී සිය පළමු පෙළ මංගල තරගය ක්‍රීඩා කරන්නේ වයස අවුරුදු 19ක් පමණ වනවිටදීය. මේ වන විට ක්‍රිස් ගේල් පළමු පෙළ ක්‍රිකට් දිවියේ තරග 180කට ක්‍රීඩා කරමින් ලකුණු 13226ක් රැස්කිරීමට සමත්ව ඇත්තේ ශතක 32ක් හා අර්ධශතක 64ක්ද සමගිනි. ඉන්දීය කණ්ඩායමට එරෙහිව සිය ජාත්‍යන්තර ක්‍රිකට් දිවිය ආරම්භ කළ ක්‍රිස් ගේල් පළමු තරගයේදී රැස්කිරීමට සමත් වූයේ එක් ලකුණක් පමණි. ජාත්‍යන්තර ක්‍රිකට් දිවියේ එක්දින තරග 301කට ක්‍රීඩා කරමින් ලකුණු 10480ක් රැස්කිරීමට ගේල්ට හැකිවූයේ ශතක 25ක් හා අර්ධශතක 54ක් සමගිනි.

වසර 2002 ක්‍රිස් ගේල්ට ඉතා වැදගත් වසරක් බවට පත් විය. එම වසර තුළදී ලකුණු 2013ක් රැස්කිරීමට ගේල්ට හැකිවූයේ ශතක 4ක් හා අර්ධශතක 14ක්ද සමගිනි. ශූරයන්ගේ කුසලාන තරගාවලි ඉතිහාසයේ වැඩිම ලකුණු ලාභියා බවටද පත්වන ක්‍රිස්ගේල් තරග 17කට ක්‍රීඩා කරමින් ලකුණු 791ක් රැස්කිරීමට සමත් විය. ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් පිටියේ ද්විත්ව ශතක වාර්තා කළ දෙවන පිතිකරුවා බවට පත්වන්නට ගේල් සමත් වන්නේ සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව පන්දු 138කින් සිය ද්විත්ව ශතකය සම්පූර්ණ කරමිනි.

වසර 2004 ශූරයන්ගේ කුසලානය හිමිකරගත් කොදෙව් කණ්ඩායමේ සාමාජිකයෙකු වූ ක්‍රිස් ගේල් තරගාවලියේ තරග 4 තුළදී ලකුණු 139ක් රැස්කිරීමට සමත් විය. ජාත්‍යන්තර ටෙස්ට් පිටියේ පළමු පන්දුවට හයේ පහරක් එල්ල කළ පළමු පිතිකරුවා බවට පත්වූ ක්‍රිස් ගේල් දකුණු අප්‍රිකානුවන්ට හා ශ්‍රී ලංකාවට එරෙහිව ත්‍රිත්ව ශතක වාර්තා කරන්නට සමත් විය. විස්සයි විස්ස පිටියේ පන්දු යවන්නට දැඩි හිසරදයක් බවට පත් වූ පිතිකරුවෙකු ලෙසින් ක්‍රිස් ගේල් නාමය ප්‍රකටය.

විස්සයි විස්ස ජාත්‍යන්තර පිටියේ පළමු ශතකයට හිමිකම් කියනා ක්‍රිස්ගේල් විස්සයි විස්ස ලෝක කුසලාන ඉතිහාසයේ වැඩිම හයේ පහර ගණනක් එල්ල කළ පිතිකරුවා බවටද පත්ව ඇත. 2012 හා 2016 ලෝක ශූර කොදෙව් කණ්ඩායමේ ප්‍රබල සාමාජිකයෙකු වූ ගේල් ලොව පුරා විස්සයි විස්ස ලීග් පිටියේ නැතුවම බැරි චරිතයකි. විස්සයි විස්ස ක්‍රිකට් පිටියේ ලකුණු 10000 කඩයිම පළමුවෙන්ම පසුකල ක්‍රීඩකයා බවට පත් වූ ක්‍රිස්ගේල් පසුගිය ජුලි මාසයේදී විස්සයි විස්ස ලකුණු 14000 සීමාවද පසුකළේය. ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ වාර්තා රැසකට උරුමකම් කියන ක්‍රිස්ටෝපර් හෙන්රි ගේල්ට තවත් වසර කිහිපයක් දක්ෂතා දක්වන්නට හැකිවේවායි Creedanet අපගේ ඒකායන පැතුමයි..

ක්‍රිස් ගේල් සතු ජාත්‍යන්තර ක්‍රිකට් වාර්තා කිහිපයක්.

• ටෙස්ට් පිටියේ වැඩිම ත්‍රිත්ව ශතක ලාභීන් සිව්දෙනා අතරින් එක් අයෙකු වීම

• එක්දින පිටියේ දෙවන කඩුල්ල වෙනුවෙන් හොදම සබදතාවය (ලකුණු 372)

• විස්සයි විස්ස පිටියේ අඛණ්ඩව ඉනීම් 4කදී අර්ධශතක රැස්කළ දෙවන පිතිකරුවා වීම

• ජාත්‍යන්තර පිටියේ වැඩිම හයේ පහර එල්ල කළ ක්‍රීඩකයා වීම

• එක්දින පිටියේ ඕනෑම කඩුල්ලකට ඉහළම සබදතාවය (ලකුණු 372)

• විස්සයි විස්ස පිටියේ වැඩිම කලක් රැදුනු ක්‍රීඩකයා වීම (වසර 15 දින 168)

Leave a comment

Creedanet