චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණට !!!

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ 14වන අදියරේ ඉතිරි තරගයන් ඊයේ දිනයේදී එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී ආරම්භ විය. පළමු තරගය වෙනුවෙන් එක්වූයේ IPL ඉතිහාසයේ සාර්ථකම කණ්ඩායම් දෙක වන මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම හා චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමයි. ඊයේ දිනයේදී මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම රෝහිත් ෂර්මා හා හර්දික් පාණ්ඩ්‍යා නොමැතිව ක්‍රීඩා කළහ. ඒ අනුව මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ නායකත්වය කිරන් පොලාඩ් සතු වූ අතර කාසිය වාසිය හිමිකරගත් මහේන්ද්‍ර සිං දෝනි පළමුව පිතිකරණයේ නියැලෙන්නට තීරණය කළේය.

චෙන්නායි ඉනීමේ ආරම්භ ඉතා අසාර්ථක වූයේ ඩුප්ලේසිස් හා මොයීන් අලි ලකුණු නොලබා සිටියදී දවාගැනීමට ට්‍රෙන්ට් බෝල්ට් හා ඇඩම් මිලන් සමත් විය. අනතුරුව අම්බති රයුදු ලකුණු නොලබා සිටයදී ක්‍රීඩාගාරය බලා ගමන් කරේ ආබාධයකට ලක්වීම හේතුවෙනි. අත්දැකීම් සහිත පිතිකරුවන් වූ සුරේෂ් රයිනා හා මහේන්ද්‍ර සිං දෝනි අඩු ලකුණු ගණනකට දැවී යන්නේ බෝල්ට් හා මිලන් හමුවේමය.

අනතුරුව ජඩේජා හා ගයික්වාඩ් එක්ව පස්වන කඩුල්ල වෙනුවෙන් ලකුණු 79ක් එක්කරන්නට විය. ජඩේජා පන්දු 33කදී අත්‍යාවශ්‍ය ලකුණු 26ක් රැස්කොට සිටියදී දැවී ගියේය. අනතුරුව පිටියට එක්වූ ඩ්වේන් බ්‍රාවෝ හා ගයික්වාඩ් එක්ව ඉනීමේ අගභාගය වේගවත් කරන්නට විය. බෝල්ට් යොමුකළ 19වන පන්දුවාරයේදී ලකුණු 24ක් ලබගනිද්දී අවසන් පන්දුවාරයේ දෙවන පන්දුවේදී පන්දු 8කදී ලකුණු 23ක් රැස්කළ බ්‍රාවෝ දැවී ගියේය. නියමිත පන්දුවාර විස්ස තුළදී කඩුලු 6කට ලකුණු 156ක් රැස්කිරීමට චෙන්නායි පිළ සමත් විය. විශිෂ්ට ඉනීමක් දියත් කළ රුටුරාජ් ගයික්වාඩ් පන්දු 58කදී හතරේ පහර 9ක් හා හයේ පහර 4ක් සමගින් නොදැවුනු ලකුණු 88ක් රැස්කිරීමට සමත් විය. පන්දු යැවීමේදී මුම්බායි පිළ වෙනුවෙන් මිලන්, බෝල්ට් හා බුම්රා කඩුලු 2 බැගින් දවාගත්හ.

ඉලක්කය හබායාමට පිටියට පිවිසි චෙන්නායි කණ්ඩායමේ මුල් පෙළ පිතිකරුවන් තිදෙනාම ලකුණු 37ක් වන විට ක්‍රීඩාගාරයේ තරග නරඹන්නන් බවට පත් විය. අනිකුත් පිතිකරුවන්ගේ එතරම් සහයක් නොලද මුත් මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම අවමානයෙන් බේරාගැනීමට සවුරබ් තිවාරි නොදැවුනු ඉනීමක් ක්‍රීඩා කළේය. අනිකුත් කිසිදු ක්‍රීඩකයෙකු ලකුණු 20 සීමාව පසුකරන්නට අපොහොසත් වූයෙන් නියමිත පන්දුවාර විස්ස තුළදී මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමට රැස්කිරීමට හැකිවූයේ කඩුලු 8කට ලකුණු 136ක් පමණි.

නොදැවුනු ඉනීමක් ක්‍රීඩා කළ සව්රබ් තිවාරි පන්දු 40කදී හතරේ පහර 5ක් සමගින් ලකුණු 50ක් රැස්කිරීමට සමත් විය. පන්දුවෙන් දස්කම් පෑ ඩ්වේන් බ්‍රාවෝ පන්දුවාර 4 තුළදී ලකුණු 25කට කඩුලු 3ක් දවාගැනීමට සමත් විය. මෙම ජයග්‍රහණයත් සමගින් චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ හිමිකරගැනීමට සමත් විය.

සාරාංශය

චෙන්නායි සුපර් කිංග්ස් : 156-6 (20.0)
රුටුරාජ් ගයික්වාඩ්* 88(58), රවීන්ද්‍ර ජඩේජා 26(33), ඩ්වේන් බ්‍රාවෝ 23(8)
ඇඩම් මිලන් 2/21, ජස්ප්‍රිට් බුම්‍රා 2/33, ට්‍රෙන්ට් බෝල්ට් 2/35

මුම්බායි ඉන්දියන්ස් : 136-8 (20.0)
සව්රබ් තිවාරි* 50(40), ක්වින්ටන් ඩි කොක් 17(12)
ඩ්වේන් බ්‍රාවෝ 3/25, දීපක් චහර් 2/19, ශර්දුල් තාකූර් 1/29

චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමට ලකුණු 20ක ජයක්.

Images : IPL Officials

Leave a comment

Creedanet