ජපානය රනින් සැරසූ 13 හැවිරිදි සුරූපී දැරිය!

ලොව උත්කර්ෂවත්ම ක්‍රීඩා උළෙල වන ඔලිම්පික් ක්‍රීඩා උත්සවය මේ වන විට ජපානයේ ටෝකියෝ නුවර කේන්ද්‍ර කොට ගනිමින් පැවැත්වේ. මෙහිදී මෙවර ඔලිම්පික් උළෙලේ පදක්කමක් දිනාගත් ලාබාලතම ක්‍රීඩිකාව බවට පත්වීමට ජපානයේ Momiji Nishiya සමත් වූවාය. රන් පදක්කම ජයග්‍රහණය කරන විට ඇයගේ වයස සටහන් වූයේ අවුරුදු 13 දින 330ක් ලෙසටය. මෙය ජපානය වෙනුවෙන් ඔලිම්පික් පදක්කමක් ජයග්‍රහණය කල ලාබාලතමයා ලෙසටද ඔලිම්පික් ඉතිහාසයේ පදක්කමක් දිනා ගත් තුන්වන ලාබාලතමයා ලෙසටද ඉතිහාසගත විය.

මෙවර ඔලිම්පික් උළෙල සඳහා මුල් වතාවට හඳුන්වා දෙනු ලැබූ ක්‍රීඩාවක් වූයේ Skateboarding ක්‍රීඩාවය. බොහෝ දෙනෙක් වීදි ආශ්‍රිතව සිදු කරන ක්‍රීඩාවක් ලෙසින් ජනප්‍රිය වූ Skateboarding ක්‍රීඩාව ලොව පුරාම කෙටි කලකින් සෑහෙන තරම් ජනප්‍රිය විය. මේ නිසාම මෙය ඔලිම්පික් සඳහාද ඇතුළත් කර ගැනීමට අවධානය යොමු වූ අතර ඒ අනුව මුල් වරට මෙය ඔලිම්පික් ක්‍රීඩා තරඟාවලියක් සඳහා ඇතුළත් විය. මෙහි පිරිමි අංශයේ ජයග්‍රහණයද ජපන් ක්‍රීඩකයෙක්ම වූ Horigume Yuto හට හිමිවිය.

2007 වසරේ අගෝස්තු මස 30 වනදා උපත ලැබූ Mojimi Nishiya මීට ප්‍රථම 2019 වර්ෂයේදී Summer X ක්‍රීඩා උළලේදී Skateboarding රිදී පදක්කම දිනා ගන්නා විට ඇයගේ වයස අවුරුදු 11ක් ලෙසින් සටහන් විය. ඒ වගේම මේ වසරේදී පැවැත්වුන Skateboarding ලෝක ශූරතාවයේදීද කාන්තා අංශයේ රිදී පදක්කම දිනා ගැනීමට ඇය සමත් විය. මෙවර ඔලිම්පික් උළෙලේදී ඇය දිනාගත් රන් පදක්කම ප්‍රධාන මට්ටමේ තරඟාවලියකදී ඇය ජයග්‍රහණය කල පළමු රන් පදක්කම ලෙසින්ද සටහන් වේ.

Featured Image – Getty Images

Leave a comment

Creedanet