ජයදේව් උනඩ්කට් ශ්‍රී ලංකා තරග සංචාරයට ඇතුළත් විය යුතු බවට හිටපු ක්‍රීඩකයෙකුගෙන් ප්‍රකාශයක් !!

ශ්‍රී ලංකා කණ්ඩායම සමගින් පැවැත්වෙන සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් වන ඉන්දීය සංචිතය පසුගියදා ප්‍රකාශයට පත් කෙරිනි. ශිකර් ධවාන්ගේ නායකත්වයෙන් යුතු එම සංචිතයට වමත් වේගපන්දු යවන ක්‍රීඩක ජයදේව් උනඩ්කට් ඇතුළත් විය යුතු බවට හිටපු ඉන්දීය ක්‍රීඩක දීප්දාස් ගුප්තා ප්‍රකාශ කොට ඇත.

මෙම සංචිතයට ජයදේව් උනඩ්කට් ඇතුළත්ව නොමැති අතර විසිතුන් හැවිරිදි වියෙහි පසුවන වේගපන්දු යවන්නන් යුගලයක් වන අර්සාන් නග්වාස්වාලා හා චේතන් සකාරියා ශ්‍රී ලංකා සංචාරයට නම් කළ ක්‍රීඩකයන් විසිදෙනා අතරට ඇතුළත්ය.

වමත් වේගපන්දු යවන ක්‍රීඩක තංගරාසු නටරාජන් ආබාධයකට ලක්වීම හේතුවෙන් ඔහු වෙනුවට උනඩ්කට් ශ්‍රී ලංකා සංචාරය වෙනුවෙන් කැදවනු ඇතැයි ඉන්දීය ක්‍රිකට් විචාරකයන් අනුමාන කළහ. ජයදේව් උනඩ්කට් රාංජි කුසලාන තරගාවලියේ 2019-20 තරගවාරයේදී කඩුලු 67ක් දවාගැනීමට සමත් වූ අතර මෙම වසරේ පැවති විජේ හසාරේ තරගාවලියේ තරග 6ක් තුළදී කඩුලු 8ක් බිදහෙලීමට සමත් වුයේ පන්දුවාරයක දළ ලකුණු වේගය 5.88ක පවත්වා ගනිමිනි.

” ඔවුනට තිබුණා ජයදේව් උනඩ්කට් හා රාහුල් ටේවටියා සංචිතයට ඇතුළත් කරන්න. අවසන් වරට ඉන්දියාව ක්‍රීඩා කළ තරගාවලීන්හි සංචිතයන්ට ඔවුන් ඇතුළත් වුණා.” යනුවෙන් දීප්දාස් ගුප්තා සිය යූටියුබ් නාලිකාව ඔස්සේ අදහස් දක්වා ඇත.

” සංචිතය තේරීම සම්බන්ධයෙන් මට කිසිදු ගැටලුවක් නෑ. එහි ඇතුළත් ක්‍රීඩකයන් විසිදෙනා සම්බන්ධයෙන් මතභේදයක් නෑ. මම ඇත්තටම ජයදේව් උනඩ්කට්ට කැමති ඔහු මහන්සි වෙලා වැඩ කරන නිසයි. ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය තුළ විතරක් නෙවෙයි. රාංජි කුසලාන තරගාවලියේදීත් ඔහු පන්දුවාර 20-25ක් යවනවා. ක්‍රීඩකයන් 25දෙනෙකු ගන්නවා නම් 26 දෙනෙකු තෝරාගත්ත කියල එහි වෙනසක් වෙන්නෙ නෑ” යනුවෙන් ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කොට ඇත.

Leave a comment

Creedanet