ටෙස්ට් සටනේ දෙවන දිනයේත් බංගලාදේශ ආධිපත්‍යයට නතුවෙයි.

සංචාරක බංග්ලාදේශ කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර පළමු ටෙස්ට් තරගය දෙවන දිනටත් අද පෙරවරුවේ ආරම්භ විය. පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන තරගය අද දිනය ආරම්භ කරන විටදී බංග්ලාදේශ කණ්ඩායම කඩුලු 2ක් පමණක් දැවී ලකුණු 302ක් රැස්කරගෙන සිටියහ.

අද දිනයේ පළමු අර්ධයේදීත් ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට එරෙහිව පිටියේ ආධිපත්‍යය පතුරුවන්නට මොමිනුල් හක් හා නජ්මුල් ෂැන්ටෝට හැකිවිය. අද උදෑසන භාගයේදී සිය ටෙස්ට් දිවියේ 11වන ශතකය වාර්තා කරන්නට බංග්ලාදේශ නායක මොමිනුල් හක් සමත් විය. සිය මව්බිමෙන් පිටතදී මොමිනුල් රැස්කළ පළමු ශතකය බවට එය පත් විය.

දිවා විවේකයට තරගය නතර කරන විටදී කඩුලු 2ක් පමණක් දැවී ලකුණු 378ක් රැස්කිරීමට බංග්ලාදේශ කණ්ඩායමට හැකිවිය. දිවා විවේකයෙන් අනතුරුව යොමුකළ 7වන පන්දුවාරයේදී නජ්මුල් ෂැන්ටෝ දවාගැනීමට ලහිරු කුමාර ක්‍රියාත්මක විය.

පන්දු 378කට මුහුණ දෙමින් හතරේ පහර 17ක් හා එක් හයේ පහරක් සමගින් ටෙස්ට් දිවියේ ඉහළම ලකුණු සංඛ්‍යාව වාර්තා කළ ෂැන්ටෝ ලහිරු කුමාරගේ අතට උඩපන්දුවක් ලබාදීමෙන් ලකුණු 163කදී දැවීගියේය.

දිනයේ දෙවන අර්ධයේදී බංග්ලාදේශ නායකයාගේ ඉනීම ලකුණු 127කදී නිමා කරන්නට ධනංජය සිල්වා සමත් විය. පන්දු 304කට මුහුණ දෙමින් හතරේ පහර 11ක් සමගින් ශතකය රැස්කළ මොමිනුල් හක් දැවී ගියේ ස්ලිප්හි පන්දු රකිමින් සිටි ලහිරු තිරිමාන්න අතට උඩපන්දුවක් ලබාදෙමිනි.

තේ පැන් පානය වෙනුවෙන් තරගය නතර කරන විට කඩුලු 4ක් පමණක් දැවී ලකුණු 440ක් රැස්කිරීමට බංග්ලාදේශ කණ්ඩායමට හැක්විය. දිනයේ තෙවන අර්ධය තුළදී වර්ෂාව හා අයහපත් ආලෝක තත්වය හේතුවෙන් වැඩි පන්දුවාර ගණනක් ක්‍රියාත්මක කළ නොහැකි විය.

ඒ අනුව අයහපත් ආලෝක තත්වය හේතුවෙන් අද දිනයට තරගය නතර කරන විට බංග්ලාදේශය පන්දුවාර 155ක් තුළදී කඩුලු 4ක් පමණක් දැවී ලකුණු 474ක් රැස්කිරීමට සමත් විය. මුෂ්ෆිකර් රහීම් ලකුණු 43ක් හා ලිටන් ඩාස් ලකුණු 25ක් රැස්කරගෙන කඩුල්ලේ රැදී සිටියි.

තරග සාරාංශය

බංග්ලාදේශ පළමු ඉනීම : 474-4 (155.0)
නජ්මුල් ෂැන්ටෝ 163(378), මොමිනුල් හක් 127(304), ටමිම් ඉක්බාල් 90(101), මුෂ්ෆිකර් රහීම්* 43(107)

Leave a comment

Creedanet