ටෝකියෝ ඔලිම්පික් උළලේ තෙවන දිනයේ පදක්කම් සටහන!

ටෝකියෝ ඔලිම්පික් උළෙලේ තෙවන දිනය වූ ඊයේ දිනය අවසන් වන ව්ටදී ඔලිම්පික් ක්‍රීඩා තුළ තමන්ගේ විශිෂ්ටත්වය නැවත වතාවක් පෙන්නුම් කරමින් ඇමරිකා එක්සත් ජනපදය පදක්කම් සටහනේ ඉදිරියටම පැමිණෙමින් සිටියේය. පළමු දිනය තුළදී කිසිඳු පදක්කමකට හිමිකම් කීමට නොහැකි වූවත් මීළඟ දින ද්විත්වා තුළදී තම හැකියාව විදහා පාමින් ඇමරිකානුවන් මෙකී දක්ෂතාවය පෙන්නුම් කර සිටියහ.

කෙසේ වෙතත් සත්කාරක ජපානය තෙවන දිනය අවසන් වන විට ඔලිම්පික් පදක්කම් සටහනේ පෙරමුණ ගෙන රැඳී සිටියේ රන් පදක්කම් 8ක් රිදී පදක්කම් 3ක් සහ ලෝකඩ පදක්කම් 4ක් සමගින් සමස්ථ පදක්කම් 13ක් දිනා ගනිමිනි. ඇමරිකාව දෙවන ස්ථානයේ රැඳී සිටින්නේ රන් පදක්කම් 7ක් සමගින් සමස්ථ පදක්කම් 14 කට හිමිකම් කියමිනි. කෙසේ වෙතත් මුල් දින ද්විත්වය තුළදී පදක්කම් සටහනේ පෙරමුණ ගෙන සිටි චීනය තෙවන ස්ථානයට තල්ලු වී තිබුණේ රන් පදක්කම් 6ක් සමගින් ය.

පිළිවෙලින් සිව්වන සහ පස්වන ස්ථාන සටහන් කරගනිමින් රුසියානු ඔලිම්පික් කණ්ඩායම සහ මහා බ්‍රිතාන්‍ය ද ඔලිම්පික් පදක්කම් සටහනේ ඉදිරියට පැමිණීමට සමත්කම් දක්වමින් සිටින ආකාරය දක්නට ලැබුණි. ඊයේ දිනයේදී තරඟ වැදුනු ශ්‍රී ලාංකික ක්‍රීඩකයන් වූ ජූඩෝ ක්‍රීඩක චාමර ධර්මවර්ධන ලකුණු 10-0 ක් ලෙසින් ජිබූටි රාජ්‍යයේ ක්‍රීඩකයෙක් හට පරාජයට පත් වූ අතර බැඩ්මින්ටන් ක්‍රීඩක නිලූක කරුණාරත්න ද තමන් මුහුණ දුන් දෙවන මූලික වටයේ තරඟයද පරාජයට පත් වූයේ ලකුණු 21-16 ක් සහ 21-14 ක් ලෙසින් අයර්ලන්ත ක්‍රීඩක Nhat Nguyen හට ය.

ඒ අනුව දැනට තරඟ වැදුනු ශ්‍රී ලාංකික ක්‍රීඩක ක්‍රීඩිකාවන් 5 දෙනෙක් මූලික වට වලින්ම තරඟාවලියෙන් ඉවත් වී තිබේ. තවත් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 4 දෙනෙක් ශ්‍රී ලංකාව වෙනුවෙන් තරඟ වැදීමට නියමිත වන අතර ඒ අතර ක්‍රීඩකයෙක් වන පිහිනුම් ක්‍රීඩක මැතිව් අබේසිංහ අද දින තරඟ බිමට පිවිසීමට නියමිතය.

Featured Image – Getty Images

Leave a comment

Creedanet