ඩිවිලියස් ලීග් පිටියටත් සමුදෙයි !!!

හිටපු දකුණු අප්‍රිකානු නායක ඒබ්‍රහම් බෙන්ජමින් ඩිවිලියස් සියලුම ආකාරයේ ක්‍රිකට් තරගවලින් සමුගැනීමට තීරණය කොට ඇත. ඒ අනුව ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය ඇතුළු ෆ්‍රැන්චයිස් ක්‍රිකට් පිටියටද සමුදීමට ඩිවිලියස් තීරණය කොට ඇත. ඒත් සමගින්එළඹෙන වසරේ සිට රෝයල් චැලේන්ජර්ස් බැංගලෝර් කණ්ඩායමට වටිනා ක්‍රීඩකයෙකු අහිමිව යනු ඇත. සිය ට්විටර් ගිනුමෙහි සටහනක් තබමින් ඩිව්ලියස් සිය සමුගැනීම නිවේදනය කොට ඇත.

“මෙය අදහාගත නොහැකි ආකාරයේ ගමන් මගක්. නමුත් මම සියලු ආකාරයේ ක්‍රිකට් තරගවලින් ඉවත් වීමට තීරණය කළා. මම මගේ සහෝදරයන් සමග නිවසේ ක්‍රිකට් ක්‍රීඩා කරන විටදී පවා ක්‍රීඩා කළේ ඉතාමත් සතුටින් වගේම උද්යෝගයෙන්. වයස අවුරුදු 37ක් වන විට එලෙසින් තවත් දිගු කාලයක් බැබලෙන්න හැකියාවක් නෑ”.

ඒ බී ඩිවිලියස් 2018 වසරේදී ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදුනි. දකුණු අප්‍රිකාව වෙනුවෙන් ටෙස්ට් තරග 114ක් එක්දින තරග 228ක් හා විස්සයි විස්ස තරග 78කට ක්‍රීඩා කරමින් ලෝක වාර්තා පිහිටුවීමටද ඩිවිලියස් සමත් විය. ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියද ඇතුළු සමස්ත විස්සයි විස්ස තරග 340කට ක්‍රීඩා කොට ඇති ඩිවිලියස් ලකුණු 9424ක් රැස්කොට ඇත්තේ 150.13ක ඉහළ පිතිකරණ වේගයක් රදවා ගනිමිනි.

” මම බැංගලෝර් කණ්ඩායම වෙනුවෙන් වසර 11ක් ක්‍රීඩා කළ නිසා එම කණ්ඩායම හැරයාම අසීරුයි. බැංගලෝර් කණ්ඩායම වෙනුවෙන් දිගු කලක් මම ක්‍රීඩා කළා. මෙම තීරණයට එළඹෙන්න මට කාලයක් ගත වුණා. නමුත් මගේ පවුල සමග කාලය ගත කිරීම වෙනුවෙන් මම මේ තීරණය ගත්තා.”

” මෙම කාලසීමාව පුරාවට දැක්වූ සහයෝගයට මගේ මිත්‍ර විරාට් කෝලි වගේම කණ්ඩායමේ පුහුණුකරුවන් ක්‍රීඩකයන් ඇතුලු හැමෝටම ස්තුතිවන්ත වෙනවා. RCB සමග ගමන අමතක නොවන එකක්. කණ්ඩායම සමගින් බොහෝ මතකයන් තියෙනවා. මම දිගින් දිගටම බැංගලෝර් කණ්ඩායමට සහය පළ කරනවා. මම හැමදාමත් RCBian කෙනෙක්”.

Leave a comment

Creedanet