නැමීබියාවට එරෙහි තරගයෙන් ශ්‍රී ලංකා කණ්ඩායමට පහසු ජයක් !!!

හත්වන ලෝක කුසලාන තරගාවලියේ සහභාහී වූ පළමු තරගයෙන් පහසු ජයක් හිමිකරගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය. අවසන් කණ්ඩායම් 12 අතරට පිවිසීමට පැවැත්වෙන A කාණ්ඩයේ තරගයක් වූ මෙම තරගය අබුඩාබිහි ශෙයික් සයිඩ් ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.

තරගයේ කාසියේ වාසිය හිමිකරගත් ශ්‍රී ලංකා නායක දසුන් ශානක පළමුව පන්දු යැවීමට තීරණය කළේය. ඒ ආරාධනයෙන් පිටියට පිවිසි නැමීබියානු කණ්ඩායමේ පළමු කඩුල්ල ලකුණු 10ක් වන විටදී දවාගැනීමට මහේෂ් තීක්ෂණ සමත් විය. ඒ අනුව විස්සයි විස්ස ලෝක කුසලානයක යොමුකළ පළමු පන්දුවෙන්ම කඩුල්ලක් දවාගැනීමට මහේෂ් තීක්ෂණ සමත් විය.

නැවතත් ක්‍රියාත්මක වූ මහේෂ් නැමීබියානු කඩුලු රකින්නා දවාගත්තේය. නායක එරාස්මස් හා ක්‍රෙග් විලියම්ස් නැමීබියානු ඉනීම ගොඩනගන්නට විය. ඔවුන් දෙදෙනා තෙවන කඩුල්ලට ලකුණු 39ක් එක් කළහ. විලියම්ස් ලකුණු 29කට දවාගැනීමට වනිදු සමත් වද්දී එරාස්මස් ලකුණු 20කට දවාගැනීමට ලහිරු කුමාරට හැකිවිය.

අනතුරුව පිටියට එක්වූ ක්‍රීඩකයන්ගෙන් ස්මිත් හැර අන් කිසිදු පිතිකරුවකුට ලකුණු 10 සීමාව ඉක්මවන්නට ශ්‍රී ලංකා පන්දු යවන්නන් ඉඩ නොතැබූහ. පන්දුවාර 19 පන්දු 3කදී සියලු ක්‍රීඩකයන් දැවී රැස්කළේ ලකුණු 96ක් පමණි. ශ්‍රී ලංකාව වෙනුවෙන් පන්දුවෙන් දස්කම් පෑ මහේෂ් තීක්ෂණ ලකුණු 25ට කඩුලු 3ක්ද ලහිරු කුමාර හා වනිදු හසරංග කඩුලු 2 බැගින්ද දවාගත්තේය.

ඉලක්කය හබායාමට පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායමේ මුල් පෙළ පිතිකරුවන් තිදෙනාම ලකුණු 26ක් වන විට ක්‍රීඩාගාරයේ තරග නරඹන්නන් බවට පත් විය. නමුත් අවිශ්ක ප්‍රනාන්දු හා එක්වූ භානුක රාජපක්ෂ ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන ගියහ. පන්දුවාර 13 පන්දු 3ක් අවසානයේ කඩුලු 3ක් පමනක් දැවී නියමිත ඉලක්කය සපුරාලීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය. නොදැවී ක්‍රීඩා කළ භානුක රාජපක්ෂ පන්දු 27කදි හතරේ පහර 4ක් හා හයේ පහර 2ක් සමගින් ලකුණු 42ක් රැස්කළ අතර අවිශ්ක ප්‍රනාන්දු පන්දු 28කදී හයේ පහර 2ක් සමගින් ලකුණු 30ක් රැස්කළේය.

නැමීබියානු ඉනීම : 96-10 (19.3)
ක්‍රේග් විලියම්ස් 29(36), ගර්හෙඩ් එරාස්මස් 20(19)
මහේෂ් තීක්ෂණ 3/25, ලහිරු කුමාර 2/9, වනිදු හසරංග 2/24

ශ්‍රී ලංකා ඉනීම : 100-3 (13.3)
භානුක රාජපක්ෂ* 42(27) , අවිශ්ක ප්‍රනාන්දු* 30(28)
JJ ස්මිත් 1/7, බර්නාඩ් ස්කොල්ට්ස් 1/16

Leave a comment

Creedanet