බංග්ලාදේශය තවදුරටත් ලෝක කුසලාන තරගාවලියේ රැදීමට සමත් වෙයි !!!

හත්වන ලෝක කුසලාන විස්සයි විස්ස තරගාවලියේ තවදුරටත් රැදීසිටින්නට බංග්ලාදේශ කණ්ඩායමට සමත් විය. ඒ ඔමානය ‍සමගින් පැවති තරගය ජයග්‍රහණය කිරීම හේතුවෙනි. අවසන් කණ්ඩායම් 12 අතරට පිවිසීමට පැවැත්වෙන තරගයන්හි B කාණ්ඩයේ තරගයකදී ඕමානය හා බංග්ලාදේශය මුණගැසුනි.

තරගයේදී කාසියේ වාසිය හිමිකරගත් බංග්ලාදේශය පළමුව පන්දුවට පහරදීමට තීරණය කළහ. නමුත් බංග්ලාදේශ ආරම්භක පිතිකරු ලිටන් ඩාස් ලකුණු 6කට දැවීයද්දී අංක 3 පිතිකරු ලෙසින් පිටියට එක්වූ මහෙදි හසන් ලකුණු නොලබා දැවීගියේය. අනතුරුව ශකිබ් අල් හසන් හා මොහොමඩ් නයිම් බංග්ලාදේශ ඉනීම සවිමත් කළහ. ඔවුන් දෙදෙනා තුන්වන කඩුල්ලට ලකුණු 80ක් එක්කරන්නට සමත් වූහ.

ශකිබ් අල් හසන් පන්දු 29ක් තුළ ලකුණු 42ක් රැස්කළ අතර ඊට හතරේ පහර 6ක් ඇතුලත් විය. මොහොමඩ් නයීම් පන්දු 50කදි හතරේ පහර 3ක් හා හයේ පහර 4ක් සමගින් ලකුණු 64ක් රැස්කළේය. නායක මහමදුල්ලා ලකුණු 17ක් රැස්කරද්දී සෙසු කිසිදු පිතිකරුවෙකුට ලකුණු 10 සීමාව ඉක්මවන්නට නොහැකි විය. බංග්ලාදේශය නියමිත පන්දුවාර විස්ස තුළ සියලු දෙනා දැවී ලකුණු 153ක් රැස්කලහ. ඕමානය වෙනුවෙන් බිලාල් ඛාන් හා ෆයාස් බට් කඩුලු 3 බැගින් දවාගත්තේය

ඉලක්කය හබායාමට පිටියට පිවිසි ඕමාන ආරම්භක පිතිකරු ආකිබ් ඉයාස් ලකුණු 6කට දැවිගියේය. අනතුරුව ජතීන්දර් සිං, කාශ්‍යප් ප්‍රජාපතී හා නායක සීෂාන් මසූඩ් ඕමාන පිළ ජයග්‍රහණය කරා රැගෙන යාමට වෑයම් කළහ. නමුත් නියමිත පන්දුවාර විස්ස තුළ ඕමාන කණ්ඩායම කඩුලු 9ක් දැවී රැස්කළේ ලකුණු 127ක් පමණි.

ආරම්භක පිතිකරු ජතීන්දර් සිං පන්දු 33කදී හතරේ පහර 4ක් හා එක් හයේ පහරක් සමගින් ලකුණු 40ක් රැස්කළේය. කාශ්‍යප් හා සීෂාන් පිළිවෙලින් ලකුණු 21ක් හා 12ක් රැස්කළහ. පන්දු යැවිමේදී බංග්ලාදේශය වෙනුවෙන් ශකිබ් අල් හසන් කඩුලු 3ක් හා මුෂ්ටෆිසර් රහ්මාන් කඩුලු 4ක් බිදහෙලීය.

බංග්ලාදේශය : 153-10 (20)
මොහොමඩ් නයීම් 64(50), ශකිබ් අල් හසන් 42(29)
බිලාල් ඛාන් 3/18, ෆයාස් බට් 3/30

ඕමානය : 127-9 (20)
ජතීන්දර් සිං 40(33), කාශ්‍යප් ප්‍රජාපතී 21(18)
මුෂ්ටෆිසර් රහ්මාන් 4/36, ශකීබ් අල් හසන් 3/28

Leave a comment

Creedanet