බෙල්ජියමට, ෆින්ලන්තයට ජය! වේල්ස ස්විට්සර්ලන්ත තරඟය සමයි.

ඊයේ දිනයේදී යුරෝ කුසලානය යටතේ තරඟ තුනක් ක්‍රියාත්මක වූයේය. ඒ යටතේ,

ස්විට්සර්ලන්තය 1-1 වේල්සය

ස්විට්සර්ලන්තය සහ වේල්සය අතර පැවති තරඟය මුල පටන්ම ස්විට්සර්ලන්තය තම ආධිපත්‍යය පතුරවා ගෙන සිටින ආකාරය දක්නට ලැබුණි. නමුත් තරඟයෙ පළමු භාගය අවසන් වූයේ ගෝල 0-0 ලෙසටය.

ඉන් අනතුරුව තරඟයේ දෙවන භාගයේදී ක්‍රියාත්මක වූ ස්විට්සර්ලන්ත ක්‍රීඩක Donald Embolo විසින් රැස්කර ගත් ගෝලයත් සමගින් ස්විට්සර්ලන්තය ගෝල 1-0ක් ලෙසින් තරඟයේ ඉදිරියට පැමිණියේය. ඉන් අනතුරුව වඩාත් ශක්තිමත් ලෙසින් වේල්සය විසින් ස්විට්සර්ලන්ත කලාපය ආක්‍රමණය කල අතර එහි ප්‍රතිඵලයක් ලෙසට වේල්සය 74 වන මිනිත්තුවේදී තරඟය සම කලේය. ගෝලය රැස් කරගනු ලැබුවේ Kieffer Moore විසිනි.

ඩෙන්මාර්කය 0-1 ෆින්ලන්තය

ෆින්ලන්තය තමන්ගේ පළමු ප්‍රධාන තරඟාවලියට ක්‍රීඩා කල අතර එහි පළමු තරඟයම ජයග්‍රහණය කිරීමට ඔවුන් සමත් වූයේ මෙවර තරඟාවලියේ පළමු අනපේක්ෂිත සිදුවීම වාර්තා කරමින් ය. ඩෙන්මාර්ක ක්‍රීඩක Christian Eriksen ගේ හදිසි ආඝාතය නිසා තරඟය පැය දෙකක පමණ ප්‍රමාදයකින් අනතුරුව නැවත ආරම්භ විය.

තරඟය පුරාවටම ඩෙන්මාර්කය තම ආධිපත්‍යය පතුරවගෙන සිටියත් තමන් ගෝලයට එල්ල කල එකම පහර ගෝලයක් බවට පත් කිරීමට ෆින්ලන්ත ක්‍රීඩක Joel Phjanpalo සමත් වූයේ ෆින්ලන්තය වෙනුවෙන් ප්‍රධාන තරඟාවලියක වාර්තා කල ප්‍රථම ගෝලය ලෙසට ඉතිහාසගත වෙමිනි.

74 වෙනි මිනිත්තුවේදී ලැබුණු දඬුවම් පහර අති විශිෂ්ට ලෙසින් ෆින්ලන්ත දැල් රකින්නා වන Lukas Hradecky විසින් නවත්වනු ලැබුවේ ඩෙන්මාර්කයට ගෝලයක් රැස් කිරීමට ලැබුණු අගනාම අවස්ථාවද වලක්වා දමමින් ය. ඒ අනුව තරඟය ගෝල 1-0 ලෙසින් ෆින්ලන්තයට ජය හිමිකර දෙමින් අවසන් විය.

රුසියාව 0-3 බෙල්ජියම

ලෝක ශ්‍රේණිගත කිරීම් හි අංක 1 කණ්ඩායම වන බෙල්ජියම විසින් රුසියාවට එරෙහිව දරුණු ප්‍රහාරයක් එල්ල කරමින් ගෝල 3ක් රැස් කරගැනීමට සමත් විය. තරඟය ආරම්භ වී මිනිත්තු 10ක් ගතවද්දීම Romelu Lukaku විසින් බෙල්ජියම පළමු ගෝලය රැස් කරමින් බෙල්ජියම පෙරමුණට ගෙන ඒමට සමත් විය.

ඉන් අනතුරුව තරඟයේ 34 වෙනි මිනිත්තුවේදී Thomas Meunier විසින් බෙල්ජියම දෙවන ගෝලයද රැස් කරගන්නා ලදී. රුසියාවට තරඟය පුරාම කිසිඳු අවස්ථාවක් ලබානොදුන් බෙල්ජියම විසින් තුන්වන ගෝලයද තරඟය අවසන් වීමට විනාඩි 2 කට පෙර රැස් කිරීමට සමත් විය. ගෝලයේ හිමිකරු වූයේ නැවතත් Romelu ය. ඒ අනුව බෙල්ජියම සාර්ථක ආරම්භයක් ලබා ගනිමින් තරඟාවලියට අවතීර්ණ වූයේය.

Featured Image – Getty Images

Leave a comment

Creedanet