මහානාම, නාලන්ද, ශාන්ත ජෝසප් විදුහල් විශිෂ්ඨ ජයග්‍රහණ වාර්තා කරයි !!!

අද දිනයේ (5) පාසල් ක්‍රිකට් ක්‍රීඩා පිටියේ Tier A තරග තුනක් පැවැත්විණි.

කොළඹ නාලන්දා විද්‍යාලය හා ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලය අතර වූ Z කාණ්ඩයේ තරගයක් ලෙස පැවති තරගයෙන් ලකුණු 234ක පහසු ජයක් ලැබීමට සත්කාරක නාලන්දා පිලට හැකිවිය.

කාසිය වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් නාලන්දා කණ්ඩායම කඩුලු 8ක් දැවී ලකුණු 303 ක් ලබාගැනීමට සමත්විය. තරගාවලියේ මේතාක් දුරට වාර්තා වූ විශිෂ්ඨතම ඉණිම ක්‍රිඩා කෙරූ නාලන්දා විද්‍යාලීය නායක රවීන් ද සිල්වා පන්දු 134 ක් තුලදී නොදැවී ලකුණු 170 ක් ලබාගන්නා ලදි. ඔහුගේ ඉණිමට හයේ පහර 8 ක් සහ හතරේ පහර 14ක් ඇතුලත්විණි.

පිළිතුරු ඉණිම ක්‍රීඩාකල ශාන්ත තෝමස් විද්‍යාලයට සියල්ලන් දැවී ලබාගැනීමට හැකිවූයේ ලකුණු 69 ක් පමණි. යලිත් ක්‍රියාත්මක වූ නාලන්දා නායක රවීන් ද සිල්වා කඩුලු 4ක් බිදහෙලීමට සමත්විය.

තරග සාරාංශය

නාලන්දා විද්‍යාලය 303/8(50)
රවීන් 170*, නිකිල් අබේගුණසේකර 39.
කනික දයාරත්න 3/57, ඇන්ඩෲ තිරිමාන්න 2/46.

ශාන්ත තෝමස් විද්‍යාලය 69(26.4)
විනෙත් බණ්ඩාරනායක 38.
රවීන් ද සිල්වා 4/04, දිනෙත් සමරවීර 2/14, විනුජ රන්පුල් 2/18.

Y කාණ්ඩයේ තරගයක් ලෙස පැවති කොළඹ මහානාම විද්‍යාලය හා කුරුණෑගල ශාන්ත ආනා විද්‍යාලය අතර වූ තරගයෙන් කඩුලු 6ක පහසු ජයක් වාර්තා කිරීමට ප්‍රභල මහානාම විද්‍යාලයට හැකිවිය.

කාසිය වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් ශාන්ත අනා පිලට මහානාමයේ ප්‍රභල පන්දු යැවීම හමුවේ ලබාගැනීමට හැකිවූයේ සියලුදෙනා දැවී ලකුණු 136ක් පමණි. විශිෂ්ඨ පන්දු යැවීමක නිරත වූ දනජ සදලිදු කඩුලු 5ක් දවාගන්නා ලදි.

පිළිතුරු ඉණිම ඇරඹූ මහානාමය එම ඉලක්කය පන්දුවාර 32.2 අවසානයේ කඩුලු 4ක් පමණක් දැවී පසුකරයාමට සමත්විය. මෙම තරගාවලිය පුරාම ලකුණු අතර සිටින මහානාම විද්‍යාලීය නායක පවන් රත්නායක නොදැවී ලකුණු 69 ක් රැස්කිරීමට සමත්විය.

තරග සාරාංශය

කුරුණෑගල ශාන්ත ආනා විද්‍යාලය 136(49.2)
දිල්හාර දේශබන්දු 56, ත්‍රිමල්ෂ සිල්වා 22.
දනජ සදලිදු 5/24, අචින්ත සුපුන් 2/26.

මහානාම විද්‍යාලය 139/4(32.2)
පවන් රත්නායක 69*, සවිදු කාවින්ද 21.

Y කාණ්ඩයේ තරගයක් ලෙස පැවති මරදාන ශාන්ත ජෝසප් විද්‍යාලය හා මාතර ශාන්ත තෝමස් විද්‍යාලය අතර වූ තරගයෙන් කඩුලු 6ක පහසු ජයක් වාර්තා කිරීමට ශාන්ත ජෝසප් විද්‍යාලයට හැකිවිය. තරගය පැවැත්වූයේ ශාන්ත ජෝසප් විදුහල් ක්‍රීඩාංගනයේදීය.

කාසිය වාසිය දිනා ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් ශාන්ත තෝමස් විදුහල නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 8ක් දැවී ලකුණු 189ක් රැස්කිරීමට සමත්විය. හිරන්ත ලක්ශාන් ලකුණු 64ක් රැස්කරන ලදි.

පිළිතුරු ඉණිම ක්‍රීඩාකල ශාන්ත ජෝසප් විද්‍යාලය එම ඉලක්කය පන්දුවාර 34.1 ක් අවසානයේ කඩුලු 4ක් පමණක් දැවී පසුකරයාමට සමත්විය. සදීශ් ජයවර්ධන නොදැවී ලකුණු 66 ක් රැස්කිරීමට සමත්විය.

තරග සාරාංශය

මාතර ශාන්ත තෝමස් විද්‍යාලය 189/8(50)
හිරන්ත ලක්ශාන් 64, වොශිත අමරසිංහ 45.
දුනිත් වෙල්ලාලගේ 2/18, දේශාන් සෙනෙවිරත්න 2/24.

ශාන්ත ජෝසප් විද්‍යාලය 193/4(34.1)
සදීශ් ජයවර්ධන 66*, ශෙවෝන් ඩැනියල් 35, දුනිත් වෙල්ලාලගේ 31.
නවිජ ද සේරම් 2/23.

Author – Sukitha Amradewa

Leave a comment

Creedanet