විස්සයි විස්ස ලෝක කුසලාන ඉතිහාසයේ ශ්‍රී ලංකාව සතු වාර්තා !!

7 වන විස්සයි විස්ස ලෝක කුසලාන තරඟාවලිය ඊයේ දිනයේදී ඩුබායි හීදි ආරම්භ විය. එහි පළමු වටයේ පළමු තරගය වෙනුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායම අද දිනයේදී නැමීබියාව සමගින් තරඟ වැදීමට නියමිත වනවා. මේ වන විට පැවති විස්සයි විස්ස ලෝක කුසලාන තරඟාවලි වලදී ශ්‍රී ලංකාව සතුව පවතින වාර්තා කිහිපයක් සම්බන්ධයෙන් මෙම ලිපියෙන් අප අවධානය යොමු කර සිටිනවා.

විස්සයි විස්ස ලෝක කුසලාන ඉතිහාසයේ ඉනිමක වැඩිම ලකුණු

2007 විස්සයි විස්ස ලෝක කුසලාන තරඟාවලියේදී ශ්‍රී ලංකාව විසින් කෙන්යාවට එරෙහිව පන්දුවාර 20 තුළදී කඩුලු 6ක් දැවී රැස්කරගත් ලකුණු 260 ක ලකුණු සංඛ්‍යාව තවමත් විස්සයි විස්ස ලෝක කුසලාන ඉතිහාසයේ ඉනිමක වැඩිම ලකුණු වාර්තාව ලෙසින් සටහන් වනවා. මෙම තරඟය විස්සයි විස්ස ලෝක කුසලාන ඉතිහාසයේ ශ්‍රී ලංකාව විසින් ක්‍රීඩා කළ ප්‍රථම තරඟය වීමද විශේෂත්වයක්.

විස්සයි විස්ස ලෝක කුසලාන ඉතිහාසයේ කණ්ඩායමක් අඩුම ලකුණු සංඛ්‍යාවකට දවා ගැනීම

විස්සයි විස්ස ලෝක කුසලාන ඉතිහාසයේ කණ්ඩායමක් අඩුම ලකුණු සංඛ්‍යාවකට දැවී ගොස් ඇත්තේද ශ්‍රී ලංකාව හමුවේයි. එම වාර්තාව ලෙසින් සටහන් වන්නේ 2014 වර්ෂයේ පැවති තරඟාවලියේදී නෙදර්ලන්තය ලකුණු 39 කට දැවී යාමයි. ඒ වගේම වැඩිම පන්දු ගණනක් ඉතිරිව තිබියදී ජයග්‍රාහී ඉලක්කය වෙත ළඟා වීමේ වාර්තාවද ශ්‍රී ලංකාව සතු වනවා. ශ්‍රී ලංකාව මෙම ඉලක්කය කරා පන්දුවාර 5ක් තුළ එක් කඩුල්ලක් පමණක් දැවී ළඟා වුණා. මෙම වාර්තාවේ දෙවන ස්ථානයත් ශ්‍රී ලංකාවට හිමි වන අතර ඒ 2014 වර්ෂයේදීම නවසීලන්තය ලකුණු 60 කට දවා ගැනීමයි.

විස්සයි විස්ස ලෝක කුසලාන ඉතිහාසයේ ලකුණු අතින් විශාලතම ජයග්‍රහණය

මෙම වාර්තාවද ඉහත කෙන්යා තරඟය හා සම්බන්ධ වාර්තාවක් ලෙසින් සැලකිය හැකි වනවා. මෙම තරඟයේදී ශ්‍රී ලංකාව ලබාගත් ලකුණු 260 ට පිළිතුරු වශයෙන් කෙන්යාව රැස් කළේ ලකුණු 88ක් පමණයි. මේ නිසාවෙන් තරඟය ශ්‍රී ලංකාව ලකුණු 172 කින් ජයග්‍රහණය කළ අතර එය අදටත් විස්සයි විස්ස ලෝක කුසලානයකදී පළමුවෙන්ම පන්දුවට පහර දුන් කණ්ඩායමක් විසින් රැස්කරගත් වැඩිම ලකුණු සංඛ්‍යාව ලෙසින් සටහන් වනවා.

විස්සයි විස්ස ලෝක කුසලාන වැඩිම අවසන් පූර්ව වට නියෝජනය

මෙතෙක් පැවති විස්සයි විස්ස ලෝක කුසලාන තරඟාවලි 6 දී වැඩිම අවසන් පූර්ව වට නියෝජනය කිරීමේ සම වාර්තාව ශ්‍රී ලංකාව සතු වනවා. එම වාර්තාවට ශ්‍රී ලංකාව සමගින් එක් වී සිටින්නේ බටහිර ඉන්දීය කොදෙව් දූපත් සහ පාකිස්තානයයි. පිළිවෙලින් පාකිස්තානය 2007, 2009, 2010 සහ 2012 වර්ෂ වළදී අවසන් පූර්ව වටය නියෝජනය කළා. ශ්‍රී ලංකාව 2009, 2010, 2012 සහ 2014 වසර වලදීත් කොදෙව්වන් 2009, 2012, 2014 සහ 2016 යන වසර වලදීත් අවසන් පූර්ව වට නියෝජනය කල නිසාවෙන් මෙම වාර්තාව ඉහත කණ්ඩායම් තුනටම අයත් වාර්තාවක්.

විස්සයි විස්ස ලෝක කුසලාන වැඩිම අවසන් මහා තරඟ නියෝජනය

විස්සයි විස්ස ලෝක කුසලාන ඉතිහාසයේ වැඩිම වතාවක් අවසන් මහා තරඟ නියෝජනය කළ කණ්ඩායම වන්නේද ශ්‍රී ලංකාවයි. ශ්‍රී ලංකාව 2009, 2012 සහ 2014 යන වර්ෂ වලදී අවසන් මහා තරඟ නියෝජනය කළ අතර 2014 වර්ෂයේදී ලෝක ශූරයන් ලෙසින් තරඟාවලිය අවසන් කළා. ඒ අනුව තවමත් කිසිඳු කණ්ඩායමක් අවසන් මහා තරඟ 3ක් නියෝජනය කිරීමට සමත් වී නැති අතර අවසන් මහා තරඟ 2 බැගින් නියෝජනය කිරීමට ඉන්දියාව, පාකිස්තානය, එංගලන්තය සහ බටහිර ඉන්දීය කොදෙව් දූපත් යන කණ්ඩායම් සමත්ව තිබෙනවා.

විස්සයි විස්ස ලෝක කුසලාන තරඟාවලි වල වැඩිම ලකුණු

විස්සයි විස්ස ලෝක කුසලාන ඉතිහාසයේ වැඩිම ලකුණු ලාභියා වන්නේ ශ්‍රී ලංකා ක්‍රීඩක මහේල ජයවර්ධනයි. ඔහු විසින් තරඟ 31 ක් තුළ ලකුණු 1016ක් රැස් කරගෙන මෙහි ප්‍රථම ස්ථායනේ පසු වනවා. ලකුණු 1000 සීමාව ඉක්මවා ගොස් සිටින ප්‍රථම මෙන්ම එකම පිතිකරු වන්නේද මහේලයි. මෙහි තුන්වන ස්ථානයද ශ්‍රී ලංකා පිතිකරුවෙක් වන තිලකරත්න ඩිල්ශාන් හට හිමිව තිබෙනවා.

  1. මහේල ජයවර්ධන – 1016
  2. ක්‍රිස් ගේල් – 920
  3. තිලකරත්න ඩිල්ශාන් – 897
  4. විරාට් කෝලි – 777
  5. ඒ.බී.ඩිවිලියර්ස් – 717

වැඩිම හතරේ පහරවල්

විස්සයි විස්ස ලෝක කුසලාන තරඟාවලි වල වැඩිම හතරේ පහරවල් එල්ල කොට ඇත්තේද ශ්‍රී ලංකා ක්‍රීඩක මහේල ජයවර්ධන විසින් ය. ඔහු විසින් හතරේ පහර 111ක් එල්ල කොට තිබෙනවා. එහි දෙවන ස්ථානයේ තිලකරත්න ඩිල්ශාන් රැඳී සිටින අතර ඩිල්ශාන් එල්ල කළ හතරේ පහර සංඛ්‍යාව 101ක් ලෙසින් සටහන් වනවා.

හොඳම කඩුලු සබඳතාවය

විස්සයි විස්ස ලෝක කුසලාන ඉතිහාසයේ ඕනෑම කඩුල්ලකට පැවැත්වූ හොඳම සබඳතාවය ලියැවී තිබෙන්නේ මහේල ජයවර්ධන සහ කුමාර් සංගක්කාර දෙපළගේ නම ඉදිරියෙනි. ඔවුන් දෙදෙනා විසින් 2010 තරඟාවලියේදී කොදෙව්වන්ට එරෙහිව දෙවන කඩුල්ල සඳහා ලකුණු 166ක සබඳතාවයක් පවත්වා තිබෙනවා.

එක් තරඟාවලියකදී එල්ල කළ වැඩිම හතරේ පහර සංඛ්‍යාව

2009 ලෝක කුසලාන තරඟාවලියේදී තිලකරත්න ඩිල්ශාන් විසින් ලකුණු 317ක් රැස් කරමින් තරඟාවලියේ වීරයා බවට පත් වූ අතරම එහිදී ඔහු විසින් ඉනිම 7ක් තුළදී හතරේ පහර 46ක් එල්ල කොට තිබෙනවා. එය දැනට තනි විස්සයි විස්ස ලෝක කුසලාන තරඟාවලියක එල්ල කළ වැඩිම හතරේ පහර සංඛ්‍යාවයි.

ලෝක කුසලාන ඉතිහාසයේ හොඳම පන්දු යැවීම

2012 තරඟාවලියේදී අජන්ත මෙන්ඩිස් විසින් සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව ලකුණු 8 කට කඩුලු 6ක් බිඳ හෙලීම ලෝක කුසලාන ඉතිහාසයේ හොඳම පන්දු යැවීමයි. ඒ වගේම එහි දෙවන ස්ථානය හිමි වන්නේ 2014 වර්ෂයේදී රංගන හේරත් විසින් නවසීලන්තයට එරෙහිව ලකුණු 3 කට කඩුලු 5ක් දවා ගැනීමේ වාර්තාවයි.

පන්දු යැවීමේ හොඳම Strike Rate වාර්තාව

මෙම වාර්තාවද ශ්‍රී ලංකා ක්‍රීඩක අජන්ත මෙන්ඩිස් ගේ නමට ලියැවී තිබෙනවා. ඔහුගේ පන්දු යැවීමේ Strike Rate සඳහන් වන්නේ 13.4 ක් ලෙසිනුයි. මෙහි දෙවන ස්ථානය දිනාගෙන සිටින පාකිස්තානයේ උමර් ගුල් 14.1 ක අගයක් වාර්තා කරගෙන සිටිනවා.

තනි තරඟාවලියක වැඩිම කඩුලු වාර්තාව

2012 වර්ෂයේදී ශ්‍රී ලංකාවේ පැවති විස්සයි විස්ස ලෝක කුසලාන තරඟාවලියේදී කඩුලු 15ක් බිඳ හෙලීමට අජන්ත මෙන්ඩිස් සමත් වුණා. එය විස්සයි විස්ස ලෝක කුසලාන ඉතිහාසයේ තනි තරඟාවලියක වැඩිම කඩුලු දවා ගැනීම ලෙසින් සටහන් වනවා. එහි දෙවන ස්ථානය ඕස්ට්‍රේලියාවේ ඩර්ක් නැනස් හට හිමිවන අතර ඔහු 2010 දී කඩුලු 14ක් දවා ගත්තා.

විස්සයි විස්ස ලෝක කුසලාන වැඩිම තරඟ සංඛ්‍යාවක් නියෝජනය

මෙම වාර්තාව සටහන් වන්නේ ශ්‍රී ලංකා ක්‍රීඩක තිලකරත්න ඩිල්ශාන් ගේ නම ඉදිරියෙනුයි. ඩිල්ශාන් 2007 සිට 2016 දක්වා ලෝක කුසලාන වලදී තරඟ 35ක් ශ්‍රී ලංකාව වෙනුවෙන් නියෝජනය කළා. එහි දෙවන ස්ථානයේ පසුවන පාකිස්තානයේ ශහීඩ් අෆ්රිඩි ක්‍රීඩා කළ තරඟ සංඛ්‍යාව 34ක්.

හොඳම ජයග්‍රාහී ප්‍රතිශතය හිමි නායකයා

අවම වශයෙන් තරඟ 10ක් වත් විස්සයි විස්ස ලෝක කුසලාන වලදී නායකත්වය දැරූ නායකයින් අතරින් හොඳම ජයග්‍රහණ ප්‍රතිශතය හිමි නායකයා වන්නේ ශ්‍රී ලංකාවේ කුමාර් සංගක්කාරයි. ඔහු විසින් විස්සයි විස්ස ලෝක කුසලාන තරඟ 14ක් නායකත්වය දරා ඇති අතර එහි ජයග්‍රාහී ප්‍රතිශතය වන්නේ 71.42%ක් ය.

අවසන් මහා තරඟයක හොඳම පන්දු යැවීම

විස්සයි විස්ස ලෝක කුසලාන අවසන් මහා තරඟයක හොඳම පන්දු යැවීමේ වාර්තාව අජන්ත මෙන්ඩිස් සතු වනවා. ඔහු විසින් 2012 තරඟාවලියේ අවසන් මහා තරඟයේදී බටහිර ඉන්දීය කොදෙව් දූපත් වලට එරෙහිව පන්දුවාර 4ක් තුළ ලකුණු 12ක් පමණක් ලබා දෙමින් කඩුලු 4ක් බිඳ හෙලීමට සමත් වුණා. කෙසේ වුවත් තරඟය අවාසනාවන්ත ලෙසින් ශ්‍රී ලංකාව පරාජයට පත් වෙමින් නිමාව දුටුවා.

අවසන් මහා තරඟ වලදී අර්ධ ශතක වාර්තාව

විස්සයි විස්ස ලෝක කුසලාන අවසන් මහා තරඟයකදී ලකුණු 50 සීමාව දෙවතාවක් රැස් කළ පළමු පිතිකරු කුමාර් සංගක්කාරයි. වර්තාමනයේදී ඔහු මාලන් සැමුවෙල්ස් සමගින් ලකුණු 50 දෙවතාවක් රැස් කළ පිතිකරු සම වාර්තාවටද හිමිකම් කියනවා. සංගා 2009 දී පාකිස්තානයට එරෙහිව අවසන් තරඟයේදී නොදැවී ලකුණු 64ක් සහ 2014 ඉන්දියාවට එරෙහිව නොදැවී ලකුණු 52ක් රැස් කළා. සැමුවෙල්ස් 2012 දී ශ්‍රී ලංකාවට එරෙහිව ලකුණු 78ක් සහ 2016 දී එංගලන්තයට එරෙහිව නොදැවී ලකුණු 85ක් රැස් කළා. සංගා 2014 අවසන් මහා තරඟයේ වීරයා වූ අතරම සැමුවෙල්ස් 2012 මෙන්ම 2016 ද අවසන් මහා තරඟ වල වීරයා බවට පත් වුණා

Leave a comment

Creedanet