ශ්‍රී ලංකාව බිහිකළ පළමු ටෙස්ට් නායකයා මෙලොවින් සමු ගනී !!!

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රිකට් වංශකතාවේ සදාමතකයේ රැදෙන නාමයක් වූ බන්දුල වර්ණපුර මහතා මෙලොවින් සමුගෙන ඇත. ශ්‍රී ලංකාව බිහිකළ පළමු ටෙස්ට් නායකයා වූ බන්දුල වර්ණපුර මහතා මිය යන විට 68 වැනි වියෙහි පසුවිය. ශ්‍රී ලංකා ක්‍රිකට් උදෙසා කළ මෙහෙවර උදෙසා බන්දුල වර්ණපුර මහතා පිළිබඳව Creedanet අප තබන සටහනක් මෙතැන් පටන්…

වසර 1953 මාර්තු මස 1වනදා රඹුක්කනදී උපත ලද බන්දුල වර්ණපුර කොළඹ නාලන්දා විදුහලෙන් සිය ක්‍රිකට් පිටියට අත්පොත් තැබීය. වසර 1971දී නාලන්දා විද්‍යාලයීය ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වය හොබවන බන්දුල වර්ණපුර වසර 1975 පමණ වන විට ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම නියෝජනය කිරීමට වරම් හිමිකරගත්තේය.

1975 හා 1979 ලෝක කුසලාන තරගාවලිවලදී තරග 5කට ක්‍රීඩා කරමින් ලකුණු 79ක් රැස්කිරීමට ඔහු සමත් විය. ශ්‍රී ලංකා කණ්ඩායම ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලය පූර්ණ සාමාජිකත්වය හිමිකොට ගෙන පළමු ටෙස්ට් තරගය වෙනුවෙන් එක්වන විට ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායමේ නායකත්වය හොබවනු ලැබූයේ බන්දුල වර්ණපුර මහතායි.

ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ පළමු පන්දුවට මුහුණ දුන් ක්‍රීඩකයා හා පළමු ලකුණ රැස්කළ ක්‍රීඩකයා වනුයේ බන්දුල වර්ණපුරයි. එමෙන්ම ශ්‍රී ලංකාව ලද පළමු එක්දින තරග ජයග්‍රහණයේදී කණ්ඩායම මෙහෙයවූයේද බන්දුල වර්ණපුරයි. ශ්‍රී ලංකාව නියෝජනය කළ කෙටි කාල සීමාව තුළදී බන්දුල වර්ණපුර ටෙස්ට් තරග 4කට හා එක්දින තරග 12කට ක්‍රීඩා කොට ඇත.

බන්දුල වර්ණපුර ඇතුළු ශ්‍රී ලංකා ක්‍රීඩකයන් රැසකගේ ක්‍රිකට් දිවිය වසර 1982දී නිමාවට පත්වන්නේ තහනම් දකුණු අප්‍රිකානු සංචාරය හේතුවෙනි. වර්ණභේදවාදය හේතුවෙන් දකුණු අප්‍රිකානු ක්‍රිකට් වලට තහනමක් පැනවෙද්දී බන්දුල වර්ණපුර ප්‍රමුඛ ශ්‍රී ලංකා කණ්ඩායම දකුණු අප්‍රිකාවේ සංචාරකට එක්වූහ. එහි අවසන් ප්‍රතිඵලය ලෙසින් බන්දුල වර්ණපුර ඇතුළු ක්‍රිකට් ක්‍රීඩකයන් රැසකගේ ක්‍රීඩා දිවියට වසර 25 තහනමක් පනවන්නට මෙරට ක්‍රිකට් පාලකයන් කටයුතු කළහ. නමුත් එම දඩුවම පසුකලෙක වසර 9කට සීමා කළ නමුත් බන්දුල වර්ණපුරහට කිසිදු ජාත්‍යන්තර තරගයකට ක්‍රීඩා කිරීමට නොහැකි විය.

බ්ලූම්ෆීල්ඩ් ක්‍රීඩා සමාජය නියෝජනය කරමින් පළමු පෙළ ක්‍රිකට් පිටියේ දස්කම් පෑ බන්දුල වර්ණපුර ඉනීම 99කදී ලකුණු 2280ක් රැස්කොට ඇත. ක්‍රිකට් ක්‍රීඩා දිවිය එසේ නිමවීමෙන් පසු බන්දුල වර්ණපුර මහතා ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සල තරග තීරකවරයෙකු හා විනිසුරුවරයෙකු කටයුතු කලේය.

අනතුරුව ක්‍රිකට් පුහුණුකරුවකු ලෙසින් සුදුසුකම් සපුරා ලන බන්දුල වර්ණපුර 1994 වසරේදී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පුහුණු අධ්‍යක්ෂක බවට පත් විය. අනතුරුව 2001 වසරේදී ඔහු ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයුම් අධ්‍යක්ෂවරයා බවට පත් වූ අතර වසර 8ක් එම තනතුර හෙබවීය. අනතුරුව බන්දුල වර්ණපුර මහතා ආසියානු ක්‍රිකට් කවුන්සලයේ සංවර්ධන කළමණාකරු ධූරයට පත් විය. ශ්‍රී ලංකා ක්‍රිකට් උදෙසා සිය දායකත්වය එක් කළ බන්දුල වර්ණපුර හිටපු ටෙස්ට් නායකයානනි. ඔබට නිවන් සුව !

Leave a comment

Creedanet