ශ්‍රී ලංකා දකුණු කොරියා තරඟයේ ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ගේ දත්ත වාර්තාව.

ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරඟ වට වලදී දෙවන අදියරේ අවසන් තරඟයට ඊයේ ශ්‍රී ලංකාව මුහුණ දෙනු ලැබුවා. ඒ ලෝක ශ්‍රේණිගත කිරීම් හි 39 වන ස්ථානයේ පසුවන ආසියාවේ ප්‍රභල කණ්ඩායමක් වන දකුණු කොරියාව සමගයි. තරඟයෙන් ශ්‍රී ලංකාවට එරෙහිව ගෝල 5-0 ක් ලෙසින් ජයග්‍රහණය වාර්තා කිරීමට දකුණු කොරියාව සමත් වුනා. එකී තරඟය පුරාවට ශ්‍රී ලංකා ක්‍රීඩකයන් දැක්වූ දක්ෂතා පහත පරිදි දිස් වුනා.

ශ්‍රී ලංකාව තරඟය ආරම්භ කලේ 4-1-4-1 වශයෙන් වූ ආරම්භක රටාවකටයි. නමුත් දිගින් දිගටම කොරියා ප්‍රහාරය ආරක්ෂා කිරීමට උත්සාහ කලා හැරෙන්නට දිගු සැලසුමකින් යුක්ත ක්‍රීඩා රටාවක් ශ්‍රී ලංකාව දෙසින් දිස්වූයේ නෑ. ශ්‍රී ලංකාව වෙනුවෙන් කැපී පෙනෙනම දක්ෂතාවය පෙන්නුම් කලේ දැල් රකින ක්‍රීඩක සුජාන් පෙරේරා විසින්. සුජාන්ගේ සමස්ථ තරඟයේ ක්‍රීඩා රටාව ලෙසින්

සුජාන් පෙරේරා (GK)

Saves – 2

Punches – 7

Successful Runs out – 1

High Claims – 1

Touches – 53

Long balls – 20

සුජාන් පෙරේරා හට ඊයෙ දිනය ඉතාම කාර්යබහුල දිනයක් වූයේ කොරියා ආක්‍රමණය දැඩි වූ බැවිනුයි. විශේෂයෙන්ම සුජාන් විසින් දකුණු කොරියා ක්‍රීඩකයින් තම ආක්‍රමණය දියත් කොට පහරවල් වලට යෑමට මත්තෙන් ඉදිරියට පැමිණ පන්දුව වෙනත් දෙසකට යොමු කල ආකාරය දක්නට ලැබුණා. ඔහුගේ නම ඉදිරියෙන් Punches 7 ක් සහ Successful Runs out 1ක් දිස් වන්නේ මේ හේතුව නිසායි.

මීළඟට ශ්‍රී ලංකාවේ ආරක්ෂක ක්‍රීඩකයින් දෙසට අවධානය යොමු කලොත් පැහැදිලි වන්නේ ඔවුන්ටද වැඩ බහුල දිනයක් ලෙසට කොරියා තරඟය සටහන් වූ බවයි.

ජූඩ් සුමන් (ආරක්ෂක ක්‍රීඩක)

ජූඩ් සුමන්ගෙන් ඊයේ තරඟය පුරාවටම බලාපොරොත්තු වූ තරම් දක්ෂතාවයක් දක්නට නොලැබුනා. විශේෂයෙන්ම ඔහු අතින් වැරදි ගණනාවක් සිදු වූ ආකාරය මෙන්ම ඔහුගේ පන්දු හුවමාරු (Passing) හොඳ මට්ටමක පැවතුනේ නෑ. විශේෂයෙන්ම සුමන්ගේ ක්‍රියාකාරිත්වයද තරඟය පුරා දිස්නොවුන බව මෙම දත්ත අධ්‍යනයේදී පෙනී යනවා.

Accurate Passes – 5 (55.6%)

Touches – 19

Possession Lost – 6

චමෝද් දිල්ශාන් (ආරක්ෂක ක්‍රීඩක)

චමෝද් දිල්ශාන් තරඟය පුරාවටම වර්තා කොටගෙන තිබෙන්නේ සාර්ථක පන්දු හුවමාරු දෙකක් පමණයි. ඔහු තරඟයේ මිනිත්තු 90 ම ක්‍රීඩා කොට තිබෙනවා. සාමාන්‍යෙන් උස ක්‍රීඩකයෙක් වන ඔහු විසින් පන්දු Clear කිරීම් 3ක් වාර්තා කොට තිබෙනවා.

Accurate Passes – 2 (18.2%)

Touches – 20

Clearances – 3

Shot Blocked – 1

මීට අමතරව Left Back සහ Right Back ක්‍රීඩකයන් දෙදෙනාගෙන් චලන චමීර හට එකදු පන්දුවක්වත් සාර්ථකව තරඟය පුරාවටම හුවමාරු කර ගැනීමට නොහැකි වී තිබෙනවා. ඒ වගේම අනෙක් අන්තයෙන් ක්‍රීඩා කල හර්ෂ විසින් සාර්ථක පන්දු හුවමාරු වාර්තා කොට ඇත්තේ 5ක් පමණයි. ඔවුන් දෙදෙනාගෙන් බලාපොරොත්තු වූ යමක් සිදු නොවුනා.

ඒ වගේම 4-1-4-1 ආකෘතිය යටතේ යෝගේන්ද්‍ර ඩක්සන් හට වැඩි වගකීමක් නිර්මාණය වූ බවත් එමගින් ඔහු තරඟය පුරාවටම අතිශයින්ම කාර්යබහුල වී සිටි බවත් ඔහුගේ ක්‍රීඩක දත්ත නිරීක්ෂණය කිරීමේදී වටහා ගත හැකි වනවා. මෙකී පීඩනය නිසාම ඔහුගෙන් වැඩි වශයෙන් පන්දු ගිලිහී යාම්ද සිදු වුනා. දකුණු කොරියාව වැනි ප්‍රභල රටක් හමුවේ ඔහුට මෙතරම් බරක් දැරීමට සිදු වීමේ පීඩනය මෙකී පන්දු ගිලිහී යාම් වලට හේතු වන්නට ඇති බව විශ්වාස කල හැකියි.

යෝගේන්ද්‍ර ඩක්සන් (මැදපෙල ආරක්ෂක ක්‍රීඩක)

Touches – 36

Accurate Passes – 11 (55%)

Long Balls – 9

Ground Duesl won – 3

Ariel Duels won – 2

Possession Lost – 10

ඔහුගේ දත්ත පරීක්ෂා කිරීමේදී වැටහෙන කරුණ නම් පන්දුව ළඟ හුවමාරු නොකර දිගු යොමු කිරීම් වලට යොමු වී ඇති බවයි. (Short passes නොකර Long Passes වලට යොමු වීම). නමුත් ඔහුගේ Long balls වලින් සාර්ථක වී ඇත්තේ 1ක් පමණයි. ඉතුරු 8 ම අසාර්ථක ලෙසින් සටහන් වී ඇත. මින් පැහැදිලි වන්නේ ශ්‍රී ලංකා කණ්ඩායමේ මැද පෙලින් ඉදිරි පෙලට යොමු කල පන්දු වල නිසි එල්ලයක් සහ අරමුණක් නොතිබුණු බවය.

කවින්දු ඉශාන් (Winger)

කවිඳු ඉශාන් ගේ සාර්ථකත්වය අතිශය වැදගත් කරුණක් වූවත් ඔහුට දකුණු කොරියා ආරක්ෂක වළල්ල ඉක්මවා යාමට හැකියාවක් හිමි වූයේ නැත. ප්‍රධානතම හේතුව වූයේ මැද පෙල සහ ඉදිරිපෙළ අතර සාර්ථක සබඳතාවයක් දක්නට නොලැබීමයි. මේ හේතුව නිසාම කවිඳුට තරඟය පුරාවටම තම ස්ථානයේ යමක් කිරීමට අපහසු විය.

Touches – 17

Accurate Passes – 9 (69.2%)

Successful Dribbles – 1

Possession Lost – 5

අවසාන වශයෙන් ක්‍රීඩකයන් ගෙන් අවධානය යොමු කරන්නේ පසුගිය තරඟයේදී ශ්‍රී ලංකා තරුව වූ වසීම් රසීක් කෙරෙහිය. ඔහුටද සාර්ථක වීමට ඊයේ දිනයේදී කොරියානු පසුපෙළ ඉඩ ලබා දුන්නේ නැත. තරඟය පුරාවටම වසීම්ගෙන් බලාපොරොත්තු වූ දක්ෂතා නොලැබුණේ කොරියානු ආරක්ෂක වළල්ල ප්‍රභල වීම සහ ශ්‍රී ලංකාවේ පන්දු හුවමාරු දුබල වීම නිසායි.

වසීම් රසීක් (Winger)

Touches – 16

Accurate Passes – 7 (70%)

Crosses – 1

Ground Duesls won – 1

සමස්ථ කණ්ඩායම් ද්විත්වය සන්සන්දනය සහ ශ්‍රී ලංකාව තරඟය පුරාවටම කල සැලැස්ම අධ්‍යනය

තරඟය පුරාම පන්දුව 80% ක වැනි ප්‍රතිශතයක් රැඳී තිබුණේ දකුණු කොරියාව සමගය. ශ්‍රී ලංකාව සතුව 20%ක් පමණකි. ශ්‍රී ලංකාව ආරක්ෂක ක්‍රීඩා රටාවක් පෙන්නුම් කරමින් පන්දුව ලැබුණු වහාම ඉක්මන් ප්‍රහාරයක් (Counter Attack) දියත් කිරීමේ අරමුණින් තරඟය ක්‍රීඩා කල බව පැහැදිලි වෙයි. නමුත් ඒ සඳහා නිසි සැලසුමක් තිබුණාද යන්න මෙකී දත්ත අධ්‍යනයේදී පෙනී යයි,

පළමු කාරණය නම් පන්දු හුවමාරු කිරීමේදී දුටු අඩුපාඩු ය. එකී දත්ත සටහන් දෙසට අවධානය යොමු කිරීමේදී,

Sri Lanka

Passes – 149

Successful Passes – 83 (56%)

South Korea

Passes – 556

Successful Passes – 495 (89%)

අගයන් දෙසට අවධානය යොමු කරන්න. පන්දු හුවමාරු සංඛ්‍යාව අමතක කලත් පන්දු හුවමාරු ප්‍රතිශතය දෙසට ඔබගේ අවධානය යොමු කිරීම වැදගත් වනවා. දකුණු කොරියාව අතිශය වැඩි පන්දු සංඛ්‍යාවක් හුවමාරු කොට 89%ක් වැනි අගයක් වාර්තා කරද්දී ශ්‍රී ලංකාව එය 56% ක් වැනි අඩු අගයක් වාර්තා කොට තිබෙනවා. එය ආසන්න වශයෙන් ගත් කල ශ්‍රී ලංකාව විසින් සෑම පන්දු හුවමාරු 2 කට 1ක් වත් මගහැරගෙන තිබෙනවා. එනම් පන්දු අසාර්ථක හුවමාරුවක්. එවිට පන්දුව ප්‍රතිවාදීන් හට ලැබෙන අතර කණ්ඩායමෙන් වාසිය ගිලිහී යනවා. මෙය ශ්‍රී ලංකා කණ්ඩායමෙන් තරඟය දුරස් වීමට බලපෑ ප්‍රධානතම හේතුවද වනවා.

දෙවන කාරණය නම් ශ්‍රී ලංකාව දිගින් දිගටම දිගු පන්දු (Long Balls) ක්‍රීඩා කිරීමත් එකී දිගු පන්දු කිසිඳු එල්ලයකින් තොර වීමත් ය. මෙකී එල්ලයකින් තොරව නිකරුණේ පන්දු යොමු කිරීම නිසා අවස්ථා ගණනාවක් නැති වී යන අතරම නැවත පන්දු වාසිය ප්‍රතිවාදීන් ට හිම වනවා. මේ එකී සන්සන්දනයයි,

Sri Lanka

Long Balls – 51

Successful Long Balls – 12(24%)

South Korea

Long Balls – 48

Successful Long Balls – 32 (67%)

තරඟයේ පන්දුව ශ්‍රී ලංකාව සතුව 20% ක් සහ දකුණු කොරියාව සතුව 80% ක් ලෙසින් සටහන් වුවත් වැඩිපුර දිගු පන්දු යොමු කිරීම් ශ්‍රී ලංකාව සතුය. එයින් පැහැදිලි වන්නේ බොහෝ අවස්ථා වල පන්දුව ඉදිරියට කෙටි Passes සමගින් යනවා වෙනුවට දිගු Passes වලට යාමට ශ්‍රී ලංකාව උත්සුක වූ බවය.

නමුත් එහි සංඛ්‍යා අධ්‍යනයේදී පැහැදිලි වන්නේ ඉන් සාර්ථක වීමේ ප්‍රතිශතයේ අවම බවය. ඉන් පැහැදිලි වන්නේ ශ්‍රී ලංකාවේ ප්‍රහාරය දියත් කිරීමේ තිබූ නිසි එල්ලයක් නොමැති වීම සහ අවබෝධයක් නොමැති වීමය. සාමාන්‍යෙන් ශ්‍රී ලංකාව යොමු කල දිගු පන්දු (Long Balls) 4කින් 3ක් ම අසාර්ථකය. මෙකී තත්ත්වය ඉතාමත්ම භයානක වන්නේ එකී සෑම අවස්ථාවකදීම නැවත පන්දුවද අහිමි වී යාමයි.අවස්ථා ගිලිහී යාමයි.

මෙකී දත්ත අධ්‍යනය කිරීමේදී වඩාත් පැහැදිලි වන්නේ ශ්‍රී ලංකාව වැඩි වශයෙන් සාර්ථක ලෙසින් කෙටි පන්දු හුවමාරු (Short Passes) සහ දිගු පන්දු හුවමාරු (Long Balls) කිරීමේදී අවබෝධයක් සහ නිසි එල්ලයකින් එය කල යුතු බවය. තරඟයේ පරාජයට ප්‍රධානතම හේතුව ලෙසට පෙනෙන්නේද කණ්ඩායමේ ක්‍රීඩයන් අතර පන්දු හුවමාරු සාර්ථක නොවීමත් මේ හේතුව නිසා දකුණු කොරියානු ක්‍රීඩකයන්ට නැවත පහසුවෙන් පන්දුව දිනාගෙන ඔවුන්ගේ සාර්ථක පන්දු හුවමාරු මතින් ශ්‍රී ලංකා ආරක්ෂක වළල්ල බිඳ හෙලීමත් ය.

ශ්‍රී ලංකාව වෙනුවෙන් වැඩිම සාර්ථක පන්දු හුවමාරු ගණනක් කර ඇත්තේ පිටියේ ක්‍රීඩකයෙක් නොව දැල් රකින්නා වන සුජාන් පෙරේරා වීමම මෙකී තර්කය නිවැරදි බවට පෙන්වා සිටියි. නමුත් ශ්‍රී ලාංකික ප්‍රේක්ෂකයන් වශයෙන් ශ්‍රී ලංකා කණ්ඩායමේ පාපන්දු වර්ධනය වීම අගය කල යුතුය. මෙකී අඩුපාඩු නිවැරදි කර ගැනීමෙන් ඉදිරියේදී සාර්ථක වන්නට ශ්‍රී ලංකා කණ්ඩායමට හැකි වනු ඇත. Creedanet අපගේ පැතුමද එයමය.

Featured Image – Arab News

Leave a comment

Creedanet