ශ්‍රී ලංකා යොවුන් පිළට එක් ලකුණක තියුණු ජයක් !!!

සංචාරක බංග්ලාදේශ යොවුන් කණ්ඩායම හා ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම අතර දෙවන එක්දින තරගය රංගිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී පැවැත්විණි. තරගයේ කාසියේ වාසිය හිමිකරගත් ශ්‍රී ලංක යොවුන් නායක දුනිත් වෙල්ලාලගේ පළමුව පන්දුවට පහර දීමට තීරණය කළේය.

ඒ අනුව පිටියට පිවිසි ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේදී කඩුලු 8ක් දැවී ලකුණු 228ක් රැස්කිරීමට සමත් වූහ. ආරම්භක පිතිකරු සදීෂ් ජයවර්ධන පන්දු 94කදී හතරේ පහර 4ක් සමගින් ලකුණු 58ක් රැස්කළේය. පළමු තරගයේදී දක්ෂතා අතරට අවතීර්ණ වූ පවන් පතිරාජ මෙම තරගයේදීද පන්දු 68ක් තුළ හතරේ පහර 4ක් සමගින් ලකුණු 51ක් රැස්කිරීමට සමත් විය.

ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් ශෙවෝන් ඩැනියල් ලකුණු 34ක් හා චමිදු වික්‍රමසිංහ වේගවත් ලකුණු 27ක් රැස්කළේය. පන්දු යැවිමේදී බංග්ලාදේශය වෙනුවෙන් රිපොන් මොන්ඩොල් ලකුණු 49කට කඩුලු 3ක්ද අශිකුර් සමාන් ලකුණු 54කට කඩුලු 2ක්ද දවාගැනීමට සමත් විය.

ඉලක්ක හබා යාමට පිටියට පිවිසි බංග්ලාදේශ යොවුන් ආරම්භක පිතිකරු මෆිජුල් ඉස්ලාම් සාර්ථක ඉනීමක් ක්‍රීඩා කරන්නට විය. ඔහු පන්දු 96කදී හතරේ පහර 8ක් හා එක් හයේ පහරක් සමගින් ලකුණු 75ක් රැස්කොට සිටියදී දවාගැනීමට මතීෂ පතිරණ සමත් විය. අනෙක් ආරම්භක පිතිකරු වූ ඉෆ්තිකාර් හුසේන් පන්දු 31කදී ලකුණු 36ක් රැස්කළේය.

අනතුරුව බංග්ලාදේශ නායක මෙහෙරොබ් හා අරිෆුල් ඉස්ලාම් කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන යාමට වෑයම් කළහ. නායක මෙහෙරොබ් ලකුණු 33කදී දවාගැනීමට ට්‍රෙවීන් මැතිව් සමත් විය. අනතුරුව ශ්‍රී ලංකා නායක දුනිත් වෙල්ලාලගේ කඩුලු 2ක් බිදහෙලීය. බංග්ලාදේශ ඉනීමේ 48වන පන්දුවාරයේදී පිට පිට කඩුලු 2ක් දවාගන්නට මතීෂ පතිරණ සමත් විය. අවසන් පන්දුවාරයේදී ජයග්‍රහණය වෙනුවෙන් බංග්ලාදේශයට ලකුණු 8ක් අවශ්‍ය විය. පන්දු 4කදී ලකුණු 2ක් ලබාගත යුතුව තිබියදී මොන්ඩෝල් දුවද්දී දැවීයාමට හසුවූයෙන් එක් ලකුණකින් ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.

Leave a comment

Creedanet