ශ්‍රී ලංකා විස්සයි විස්ස ලෝක කුසලාන ඉතිහාසයේ අසාර්ථකම තරඟාවලිය !!!

විස්සයි විස්ස ලෝක කුසලානය ඇරඹීමට ඇත්තේ තවත් හෝරා කීපයකි. මේ නිසාවෙන්ම ශ්‍රී ලංකා කණ්ඩායම විසින් විස්සයි විස්ස ලෝක කුසලාන වලදී දැක්වූ දක්ෂතා සම්බන්ධයෙන් ලිපි පෙළක් ඔබ හමුවට ගෙන ඒමට Creedanet අප අදහස් කරගෙන සිටින්නෙමු. ඒ අනුව එම ලිපි මාලාවේ අවසන් ලිපිය ලෙසින් ශ්‍රී ලංකාව 2016 හයවන විස්සයි විස්ස ලෝක කුසලාන තරඟාවලිය තුළදී ක්‍රීඩා කළ ආකාරය පිළිබඳව අප ඔබට ගෙන එන්නෙමු. මෙතැන් පටන් දිගහැරෙන්නේ ශ්‍රී ලංකාව 2016 විස්සයි විස්ස ලෝක කුසලානය ක්‍රීඩා කල ආකාරයයි,

2014 විස්සයි විස්ස ලෝක ශූරයන් ලෙසින් තරඟාවලියට එක් වූ ශ්‍රී ලංකාව මූලික කාණ්ඩ වටයේදී ඇෆ්ගනිස්තානය, බටහිර ඉන්දීය කොදෙව්, එංගලන්තය සහ දකුණු අප්‍රිකාව සමගින් තරඟ වැදීමට නියමිත විය. මෙම කාණ්ඩ වටය අවසානයේදී ප්‍රසාද ලකුණු සටහනේ ප්‍රථම ස්ථාන ද්විත්වයේ රැඳී සිටින කණ්ඩායම් අවසන් පූර්ව වට තෙක් ගමන් කිරීමට නියමිතව තිබුණි.

පළමු තරඟය ඇෆ්ගනිස්තානය සමග

ක්‍රිකට් ක්‍රීඩාවේ කෝඩුකාරයන් වුවද කෙටි කලකින් සීඝ්‍ර වර්ධනයක් හිමිකරගත් ඇෆ්ගනිස්තානය ශ්‍රී ලංකාවේ පළමු තරඟයේ ප්‍රතිවාදියා වූ අතර ශ්‍රී ලංකාව විස්සයි විස්ස ලෝක කුසලාන ඉතිහාසයේ ඇෆ්ගනිස්තානය හමුවුයේ ප්‍රථම වතාවටය. තරඟයේ මුලින්ම පන්දුවට පහර දුන්නේද ඇෆ්ගනිස්තාන කණ්ඩායමයි. ඇෆ්ගනිස්තානයේ කඩුලු මුල සිටම දැවී ගියේ පන්දුවාර 11ක් අවසන් වද්දී කඩුලු 4ක් දැවී ලකුණු 51ක් ලෙසින් ලකුණු පුවරුව සටහන් කරමිනි. නමුත් ඇෆ්ගනිස්තානය වෙනුවෙන් වේගවත් ඉනිමක් දියත් කළ ශමියුල්ලා ශින්වාරි විසින් පන්දු 14 කදී ලකුණු 31ක් රැස් කළේය. ඉනිමේ කොඳු නාරටිය බවට පත් වූ අස්ගර් ඇෆ්ගන් විසින් පන්දු 47 කදී හතරේ පහර 3ක් සහ හයේ පහර 4ක් ද සමගින් ලකුණු 62ක් රැස් කළේ ඇෆ්ගනිස්තාන ඉනිම සටන්කාමී ලකුණු 153ක් දක්වා ඔසවා තබමිනි. ශ්‍රී ලංකාව වෙනුවෙන් පන්දු යැවීමේදී තිසර පෙරේරා කඩුලු 3ක් බිඳ හෙලුවේය.

ජයග්‍රහණය වෙනුවෙන් පිටියට පිවිසි ශ්‍රී ලංකාව වෙනුවෙන් දිනේශ් චන්දිමාල් සහ තිලකරත්න ඩිල්ශාන් විසින් ආරම්භක කඩුල්ලට ලකුණු 41ක් එක් කරන ලදී. එතැන් පටන් කඩුලු බිඳ වැටුනද තමන්ගේ අන්තය ආරක්ෂා කරගත් ඩිල්ශාන් වසර ගණනක විස්සයි විස්ස අත්දැකීම් ද යොදාගනිමින් ශ්‍රී ලංකා ජයග්‍රහණය වෙනුවෙන් මග පාදා දුන්නේය. ඩිල්ශාන් පන්දු 56 කදී හතරේ පහර 8ක් සහ හයේ පහර 3ක් ද සමගින් නොදැවී ලකුණු 83ක් රැස් කරන ලදී. ශ්‍රී ලංකාව පන්දුවාර 18.5ක් අවසානයේදී ජයග්‍රාහී ඉලක්කය පසු කළේ 2016 ලෝක කුසලානයටද ජයග්‍රාහී මාවතකින් පිවිසෙමින් ය.

තරඟ සාරාංශය

ඇෆ්ගනිස්තානය 153-7 (20)
අස්ගර් ඇෆ්ගන් 62(47), ශමියුල්ලා ශින්වාරි 31(14)
තිසර පෙරේරා 33/3, රංගන හේරත් 24/2

ශ්‍රී ලංකාව 155-4 (18.5)
තිලකරත්න ඩිල්ශාන් 83(56), ඇන්ජලෝ මැතිව්ස් 21(10)
මොහමඩ් නබී 25/1, රශීඩ් කාන් 27/1

තරඟයේ වීරයා – තිලකරත්න ඩිල්ශාන්

(Photo via Getty Images)

දෙවන තරඟය බටහිර ඉන්දීය කොදෙව් දූපත් සමග

ශ්‍රී ලංකාවේ විස්සයි විස්ස ලෝක කුසලාන තරඟ වලදී වැඩිම වතාවක් හමුවී තිබෙන ප්‍රතිවාදියා වන කොදෙව්වන් නැවතත් ශ්‍රී ලංකාවට මුණ ගැසුණි. ශ්‍රී ලංකාව තරඟයේ මුළින්ම පන්දුවට පහර දෙන ලදී. ශ්‍රී ලංකාවට බලාපොරොත්තු වූ සාර්ථක ආරම්භය ලබා ගැනීමට කොදෙව් පන්දු යවන්නන් අවස්ථාව ලබා දුන්නේ නැත. සැමුවෙල් බද්‍රී ඇතුළු කොදෙව් පන්දු යවන බලඇණිය විසින් ශ්‍රී ලංකා මුල් කඩුලු 5 ලකුණු 47ක් තුළ දවා ගත්තේ තරඟය සම්පූර්ණයෙන්ම ඔවුන්ගේ යටතට ගනිමිනි. නමුත් ශ්‍රී ලංකාව වෙනුවෙන් මේ මොහොතේදී සටන්කාමී ඉනිමක් දියත් කළ තිසර පෙරේරා විසින් පන්දු 29 කදී හතරේ පහර 5ක් සහ එක් හයේ පහරක්ද සමගින් රැස්කළ ලකුණු 40 නිසාවෙන්ම ශ්‍රී ලංකාව පන්දුවාර 20 අවසානයේදී කඩුලු 9ක් දැවී ලකුණු 122ක් රැස් කිරීමට සමත් විය. පන්දු යැවීමේදී සැමුවෙල් බද්‍රී විසින් පන්දුවාර 4 තුළ ලකුණු 12ක් පමණක් ලබා දෙමින් කඩුලු 3ක් බිඳ හෙලුවේය.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරීමට පැමිණි කොදෙව්වන් හට ඉලක්කය එතරම් පහසු වූයේ නැත. අවශ්‍යම මොහොතේදී කොදෙව් කඩුලු දවා ගනිමින් පීඩනය එල්ල කිරීමට ජෙෆ්රි වැන්ඩසේ සමත් වූවත් ආරම්භක පිතිකරු ඇන්ඩ්‍රේ ෆ්ලෙක්චර් විසින් තරඟය කොදෙව් සීමාව වෙත තනිව රැගෙන එන ආකාරය දක්නට ලැබුණි. වැන්ඩසේ විසින් පන්දුවාර 4 තුළදී එක් නිලකුණු පන්දුවාරයක්ද සමගින් ලකුණු 11 කට කඩුල්ලක් බිඳ හෙලීමට සමත් විය. නමුත් ඇන්ඩ්‍රේ ෆ්ලෙක්චර් විසින් පන්දු 64 කදී හතරේ පහර 6ක් සහ හයේ පහර 5ක් ද සමගින් නොදැවී රැස්කළ ලකුණු 84 ක ඉනිම තරඟය ශ්‍රී ලංකාවෙන් දුරස් කළේය. කොදෙව්වන් පන්දුවාර 18.2 ක් තුළ කඩුලු 3ක් පමණක් දැවී ජයග්‍රාහී ඉළක්කය පසු කිරීමට සමත් විය.

තරඟ සාරාංශය

ශ්‍රී ලංකාව 122-9 (20)
තිසර පෙරේරා 40(29), ඇන්ජලෝ මැතිව්ස් 20(32)
සැමුවෙල් බද්‍රී 12/3, ඩ්වේන් බ්‍රාවෝ 20/2

බටහිර ඉන්දීය කොදෙව් 127-3 (18.2)
ඇන්ඩ්‍රේ ෆ්ලෙක්චර් 84(65), ඇන්ඩ්‍රේ රසල් 20(8)
මිලින්ද සිරිවර්ධන 33/2, ජෙෆ්රි වැන්ඩසේ 11/1

තරඟයේ වීරයා – ඇන්ඩ්‍රේ ෆ්ලෙක්චර්

තුන්වන තරඟය එංගලන්තයට එරෙහිව

ශ්‍රී ලංකාව තුන්වන තරඟයට එක් වූයේ එංගලන්තයට එරෙහිවය. මෙම තරඟය ජයග්‍රහණය නොකළහොත් ශ්‍රී ලංකාවට තරඟාවලියෙන් ඉවත් වීමට අනිවාර්යයෙන්ම සිදු වන නිසාවෙන් තරඟය ජයග්‍රහණය කිරීම අත්‍යාවශ්‍ය විය. අනෙක් පසින් එංගලන්තයද මෙම තරඟය පරාජයට පත් වුවහොත් ශ්‍රී ලංකා ඉරණමටම ගොදුරු වීමට නියමිත විය. මේ නිසාවෙන් දෙපිළම ජයග්‍රහණය බලාපොරොත්තුවෙන් පැමිණිය අතර එංගලන්තය මුලින්ම පන්දුවට පහර දෙන ලදී. 2014 ශ්‍රී ලංකාවට එරෙහිව ශතකයක් රැස් කළ ඇලෙක්ස් හේල්ස් ලකුණු නොලබාම දැවී ගියේය. අනතුරුව ජේසන් රෝයි විසින් ලකුණු 42ක් රැස් කළ අතරම ජෝ රූට් සහ ඔයින් මෝගන් වටිනා කෙටි ඉනිම් ද්විත්වයක් ක්‍රීඩා කළේය. එංගලන්තය වෙනුවෙන් වැඩිම ලකුණු සංඛ්‍යාවක් ලබාගත් ජොස් බට්ලර් විසින් පන්දු 37 කදී හතරේ පහර 8ක් සහ හයේ පහර 2ක් ද සමගින් නොදැවී ලකුණු 66ක් රැස් කළේ එංගලන්ත ඉනිම පන්දුවාර 20 අවසානයේදී කඩුලු 4 කට ලකුණු 171ක් දක්වා ඉහළ නංවමිනි.

ලෝක කුසලානයේ තවදුරටත් රැඳී සිටීමට ලකුණු 172 ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා යෑමට පිවිසි ශ්‍රී ලංකාවට අනපේක්ෂිත අත්දැකීමකට මුහුණ දීමට සිදු විය. දිනේශ් චන්දිමාල්, තිලකරත්න ඩිල්ශාන්, මිලින්ද සිරිවර්ධන සහ ලහිරු තිරිමාන්න යන ශ්‍රී ලංකා මුල් කඩුලු 4 ම ලකුණු 15ක් තුළ බිඳ වැටුණි. නමුත් මේ මොහොතේදී චාමර කපුගෙදර සමගින් එක් වූ ඇන්ජලෝ මැතිව්ස් 5 වන කඩුල්ලට ලකුණු 80ක් එක් කළේ ශ්‍රී ලංකා බලාපොරොත්තු නැවත ඔප් නංවමිනි. කපුගෙදර ගේ දැවී යාමෙන් අනතුරුව තිසර පෙරේරාත් සමගත් ලකුණු 42ක් කරමින් මැතිව්ස් හුදෙකලා සටනක නිරත විය. මැතිව්ස් විසින් පන්දු 54 කදී හතරේ පහර 3ක් සහ හයේ පහර 5ක් ද සමගින් නොදැවී ලකුණු 73ක් රැස් කළත් එය ජයග්‍රහණයට ප්‍රමාණවත් නොවීය. ශ්‍රී ලංකාව පන්දුවාර 20 නිමා වද්දී කඩුලු 8ක් දැවී ලකුණු 161 කින් නතර වූයේ එංගලන්තයට ලකුණු 10 ක තියුණු ජයග්‍රහණයක් අත්කර දෙමිනි. ඒත් සමගින් තරඟයක් ඉතිරිව තිබියදීම ශ්‍රී ලංකා ලෝක කුසලාන බලාපොරොත්තු නිමාවට පත් විය.

තරඟ සාරාංශය

එංගලන්තය 171-4 (20)
ජොස් බට්ලර් 66(37)*, ජේසන් රෝයි 42(39), ජෝ රූට් 25(24)
ජෙෆ්රි වැන්ඩසේ 26/2, රංගන හේරත් 27/1

ශ්‍රී ලංකාව 161-8 (20)
ඇන්ජලෝ මැතිව්ස් 73(54)*, චාමර කපුගෙදර 30(27), තිසර පෙරේරා 20(11)
ක්‍රිස් ජෝර්ඩන් 28/4, ඩේවිඩ් විලී 26/2

තරඟයේ වීරයා – ජොස් බට්ලර්

. (Photo via Getty Images)

සිව්වන තරඟය දකුණු අප්‍රිකාව සමග

මෙම තරඟය ආරම්භ වන විටදී දකුණු අප්‍රිකාවද තරඟාවලියෙන් ඉවත් වී තිබුණි. එම නිසා මෙම තරඟය ජයග්‍රහණය කරමින් ගෞරවාන්විත ලෙසින් තරඟාවලිය නිමා කිරීම කණ්ඩායම් ද්විත්වයේම අපේක්ෂාව බවට පත් විය. කාසියේ වාසිය දිනූ දකුණු අප්‍රිකාවේ ආරාධනයෙන් මුළින්ම පන්දුවට පහර දුන් ශ්‍රී ලංකාව වෙනුවෙන් දිනේශ් චන්දිමාල් සහ තිලකරත්න ඩිල්ශාන් සාර්ථක ආරම්භයක් ලබා ගනිමින් ලකුණු 45ක් පළමු කඩුල්ලට එක් කළේය. ඒ පන්දුවාර 4.5 ක් තුළදීය. තිරිමාන්න ලකුණු 0 කට දැවී ගිය අතරම ශ්‍රී ලංකාවේ මැදපෙල නැවතත් අසාර්ථක විය. විටෙක 75-2ක් වූ ශ්‍රී ලංකා ලකුණු පුවරුව 96-7 ක් බවට පරිවර්තනය වූයේ ලකුණු 21ක් තුළ කඩුලු 5ක් බිඳ වැටෙමිනි. ශ්‍රී ලංකා ඉනිම පන්දුවාර 19.3 ක් තුළ ලකුණු 120 කට සියල්ලම දැවී ගිය අතර ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ තිලකරත්න ඩිල්ශාන් ලකුණු 36ක් රැස් කළේය.

ජයග්‍රහණය සඳහා ලකුණු 121 ක පහසු ඉලක්කයක් හඹා යාමට පිවිසි දකුණු අප්‍රිකා ආරම්භක පිතිකරු ක්වින්ටන් ඩි කොක් දුවද්දී දැවී ගියද කල්පනාකාරී ලෙසින් හෂීම් අම්ලා, ෆෆ් ඩු ප්ලෙසිස් සහ ඒ.බී.ඩිවිලියර්ස් විසින් දියත් කළ ඉනිම් දකුණු අප්‍රිකාවට පහසු ජයග්‍රහණයක් සඳහා මංපෙත් විවර කළේය. අම්ලා පන්දු 52 කදී හතරේ පහර 5ක් සහ එක් හයේ පහරක් සමගින් නොදැවී ලකුණු 56ක් රැස් කළ අතර දකුණු අප්‍රිකාව පන්දුවාර 17.4ක් තුළ කඩුලු 2ක් පමණක් දැවී ජයග්‍රහණය වාර්තා කළේය. 2016 විස්සයි විස්ස ලෝක කුසලානය එක ජයග්‍රහණයක් පමණක් ලබා ගනිමින් මූලික වටයෙන්ම ඉවත් වීමට ශ්‍රී ලංකාවට සිදු විය. 2016 තරඟාවලිය ශ්‍රී ලංකා විස්සයි විස්ස ලෝක කුසලාන ඉතිහාසයේ අසාර්ථකම තරඟාවලිය ලෙසින් අපහසුවකින් තොරවම නම්කළ හැකිය.

තරඟ සාරාංශය

ශ්‍රී ලංකාව 120-10 (19.3)
තිලකරත්න ඩිල්ශාන් 36(40), දිනේශ් චන්දිමාල් 21(20), දසුන් ශානක 20(18)*
කයිල් ඇබොට් 14/2, ෆර්හාන් බිහාර්ඩීන් 15/2, ආරොන් පැන්ගීසෝ 26/2

දකුණු අප්‍රිකාව 122-2 (17.4)
හෂීම් අම්ලා 56(52), ෆෆ් ඩු ප්ලෙසිස් 31(36), ඒ.බී.ඩිවිලියර්ස් 20(12)
සුරංග ලක්මාල් 28/1

තරඟයේ වීරයා – ආරොන් පැන්ගීසෝ

Leave a comment

Creedanet