ශ්‍රී ලංකා සංචාරයට නම් කළ දැල් තුළ පන්දු යවන්නන් !!!

ශ්‍රී ලංකා කණ්ඩායම සමගින් ජූලි මසදී පැවැත්වෙන එක්දින හා විස්සයි විස්ස තරගාවලිය සදහා වන ඉන්දීය සංචිතය මේ වන විටත් ප්‍රකාශයට පත්කොට අවසන්ය. ඉන්දීය කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරයට අදාලව නම් කළ සංචිතයට දැල් තුළ පන්දු යැවීම සදහා ක්‍රීඩකයන් 5 දෙනෙකුද ඇතුළත්ය. ඉෂාන් පෝරල්, සංදීප් වොරියර්, අර්ෂ්දීප් සිං, සායි කිෂෝර් හා සිමර්ජීත් සිං යන ක්‍රීඩකයන් දැල් තුළ පන්දු යැවීම වෙනුවෙන් තෝරාගෙන ඇත. මෙම ක්‍රීඩකයන් පස්දෙනා පිළිබදව මෙම ලිපියෙන් දැක්වේ.

අර්ෂ්දීප් සිං

අර්ෂ්දීප් සිඅං පසුගිය වසර දෙකක කාලසීමාව තුළදී ක්‍රිකට් පිටියේ දක්ෂතා දැක්වූ ක්‍රීඩකයෙකි. අර්ෂ්දීප් 2019 වසරේදී කිංග්ස් ඉලෙවන් පන්ජාබ් කණ්ඩායම නියෝජනය කරමින් මංගල ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගයට ක්‍රීඩා කළද ඔහුට එම තරග වාරයේ ක්‍රීඩා කිරීමට හැකිවූයේ තරග තුනක් පමණි. එම ක්‍රීඩා කළ තරග තුන තුළදී කඩුලු 3ක් දවාගැනීමට ඔහුට හැකිවිය.

නමුත් පසුගිය වසරේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවති තරගාවලියේදී විශිෂ්ට දක්ෂතා දක්වන්නට අර්ෂ්දීප් සමත් විය. ඔහු තරග 8ක් තුළදී කඩුලු 9ක් දවාගැනීමට සමත් වන්නේ පන්ජාබ් කණ්ඩායම තුළ සිය ස්ථානයද තහවුරු කරගනිමිනි.

මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය අතරමග නවතා දමන විටදීද තරග 6ක් තුළ කඩුලු 7ක් සිය නාමය ඉදිරියේ ලියවා ගන්නට විසිදෙහැවිරිදි අර්ෂ්දීප් සමත් විය.

ඉෂාන් පෝරල්

බෙන්ගාල් ප්‍රදේශයේ උපත ලද මෙම යොවුන් වේගපන්දු යවන්නා A කොටසේ තරගයකට පළමු වරට ක්‍රීඩා කොට ඇත්තේ 2017 වසරේදීය.  අන්ද්‍රා ප්‍රදේශ කණ්ඩායමට එරෙහිව මංගල තරගය ක්‍රීඩා කළ ඉෂාන් එහිදී ප්‍රසාන්ත් කුමාර් මංගල කඩුල්ල ලෙසින් දවාගැනීමට සමත් විය.

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ පන්ජාබ් කිංග්ස් කණ්ඩායමට ඉෂාන් තෝරාගැනුනුද තරගාවලිය අතරමග නවතා දැමීම හේතුවෙන් මංගල ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගය ක්‍රීඩා කිරීමට අවස්ථාව හිමි නොවීය. බෙංගාල් ප්‍රාන්ත කණ්ඩායම වෙනුවෙන් සියලු ආකෘතීන්හි තරග වලදී කඩුලු 137ක් දවාගැනීමට ඉෂාන් සමත් වී ඇත.

සංදීප් වොරියර්

සංදීප් වොරියර් 2021 ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ කොල්කටා නයිට්රයිඩර්ස් කණ්ඩායමට ඇතුළත් විය. සංදීප් සිය මංගල පළමු පෙළ තරගය 2012 වසරේදී ගෝවා ප්‍රාන්ත කණ්ඩායමට එරෙහිව ක්‍රීඩා කොට ඇත්තේ කේරල ප්‍රාන්ත කණ්ඩායම නියෝජනය කරමිනි.

තිස් හැවිරිදි වියෙහි පසුවන සංදීප් සයිඩ් මුෂ්ටාක් අලී තරගාවලියේදී තමිල්නාඩු ප්‍රාන්ත කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කරයි. මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ ක්‍රීඩා කළ තරග 4 තුළදී ලකුණු 119කට කඩුලු 2ක් දවාගැනීමට ඔහු සමත් විය.

සායි කිෂෝර්

සායි කිෂෝර් ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම නියෝජනය කළ වමත් දගපන්දු යවන්නෙකි. 2017 වසරේදී විජේ හසාරේ තරගාවලියේදී ඔහු තමිල්නාඩු ප්‍රාන්ත කණ්ඩායම වෙනුවෙන් සිය මංගල තරගය ක්‍රීඩා කළේය. ගුජරාටි ප්‍රාන්ත කණ්ඩායමට එරෙහි එම තරගයේදී පන්දුවාර 9 පන්දු 4ක් තුළ ලකුණු 35කට කඩුලු 2ක් දවාගැනීමට ඔහුට හැකිවිය.

සායි කිෂෝර් තමිල්නාඩු ප්‍රිමියර් ලීග් තරගාවලියේදී කණ්ඩායම් ත්‍රිත්වයකට ක්‍රීඩා කොට ඇත. සායි කිෂෝර් සිය ක්‍රිකට් දිවිය තුළදී කඩුලු 125ක් දවාගැනීමට සමත් වී ඇත.

සිමර්ජීත් සිං

විසිතුන් හැවිරිදි වියෙහි පසුවන වේගපන්දු යවන ක්‍රීඩක සිමර්ජීත් සිං දේශීය තරග බිමෙහි දිල්ලි ප්‍රාන්ත කණ්ඩායම නියෝජනය කරයි. 2018 වසරේ විජේ හරාරේ තරගාවලියේදී ඔහු සිය පළමු තරගයට ක්‍රීඩා කළේය.

එතැන් පටන් ඔහු දිල්ලි කණ්ඩායම වෙනුවෙන් පළමු පෙළ තරග 10, A කොටසේ තරග 19ක් හා විස්සයි විස්ස තරග 15ක් ක්‍රීඩා කොට ඇත. එහිදී ඔහු කඩුලු 74ක් දවාගැනීමට සමත් වී ඇත.

Leave a comment

Creedanet