සනත් ජයසූරිය ඩිල්ශාන් නායකත්වය දරණ කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකාරීත්වයට.

ශ්‍රී ලංකා හිටපු නායකයෙකු වන සනත් ජයසූරියහට නව වගකීමක් හිමිවී ඇත. ඒ ඕස්ට්‍රේලියානු Mulgrave ක්‍රීඩා සමාජයේ ප්‍රධාන පුහුණුකරු ධූරයයි. ඒ අනුව 2021/22 තරගවාරය වෙනුවෙන් Mulgrave ක්‍රීඩා සමාජයෙහි ප්‍රධාන පුහුණුකරු ධූරයේ වගකීම ජයසූරිය සතුය.

Mulgrave ක්‍රීඩා සමාජය නැගෙනහිර වික්ටෝරියානු ක්‍රිකට් සංසදය යටතේ ලියාපදිංචි වී ඇති අතර ඔවුන් Division 03 කාණ්ඩයේ ක්‍රීඩා කරනු ලබයි. Mulgrave කණ්ඩායමේ නායකත්වය හා කළමණාකාරීත්වය හොබවනුයේ ශ්‍රී ලංකා ක්‍රීඩක තිලකරත්න ඩිල්ෂාන් විසිනි. මීට අමතරව හිටපු ශ්‍රී ලංකා ක්‍රීඩක උපුල් තරංගද පසුගිය මසදී Mulgrave ක්‍රීඩා සමාජය සමගින් සම්බන්ධ විය.

සනත් ජයසූරිය ටෙස්ට් එක්දින හා විස්සයි විස්ස ජාත්‍යන්තර පිටියේ තරග 586කදී ශ්‍රී ලංකා පිළ නියෝජනය කොට ඇත. එහිදී ලකුණු 21032ක් රැස්කිරීමට ජයසූරිය සමත්ව ඇත. පිත්තෙන් මෙන්ම පන්දුවෙන්ද කවදත් කණ්ඩායමට සහය දුන් ජයසූරිය ජාත්‍යන්තර කඩුලු 440ක උරුමකරුවෙකි. ශ්‍රී ලංකා පිළෙහි නායකත්වය දරණ සමයේ ක්‍රීඩා කළ තරග 83 අතුරින් 59ක් ජයග්‍රහණය කරා රැගෙන යාමට ජයසූරියට හැකිවිය.

ශ්‍රී ලංකා නාමය ඕස්ට්‍රේලියානු ක්‍රිකට් පිටිය තුළ බබලවන්නට Mulgrave ප්‍රධාන පුහුණුකරු සනත් ජයසූරියට මෙන්ම කණ්ඩායමේ ප්‍රබලතම සාමාජිකයන් වන ඩිල්ෂාන් හා උපුල් යුගලයටද හැකිවේවායි යන්න Creedanet අපගේ ඒකායන පැතුමයි.

Image Source – Mulgrave Cricket Club Fb

Leave a comment

Creedanet