සව්රව් ගංගුලි ඉන්දීය කණ්ඩායමේ ශ්‍රී ලංකා තරඟ සංචාරය තහවුරු කරයි.

ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපති ලෙස කටයුතු කරන හිටපු ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩක සව්රව් ගංගුලි මහතා ඉන්දීය කණ්ඩායමේ ශ්‍රී ලංකා තරඟ සංචාරය තහවුරු කර තිබෙනවා. ඔහු SportsStar සඟරාව වෙත ලබාදුන් සම්මුඛ සාකච්චාවකදී මේ බව අනාවරණ කර තිබෙනවා.

ඒ අනුව ගංගුලි සඳහන් කර තිබෙන්නේ එක්දින තරඟාවලියක් සහ T20 තරඟාවලියක් වෙනුවෙන් ඉන්දීය කණ්ඩායම ජූලි මාසයේදී ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමට නියමිත බවයි. තරඟ තුනකින් සමන්විත එක්දින තරඟාවලියකින් සහ තරඟ 5කින් සමන්විත විස්සයි විස්ස තරඟාවලියකින් මෙම තරඟ සංචාරය සමන්විත බව ඔහු තහවුරු කර තිබුණා.

ඔහු මේ බව අනාවරණ කර තිබුණේ Sportstar සඟරාව විසින් IPL තරඟාවලියේ සෙසු තරඟ පැවැත්වීමේ කාලවකවානුව පිලිබඳව යොමුකල ප්‍රශ්නයකට පිළිතුරු ලෙසයි. ඉන්දියාව ජූනි 18 සිට 22 දක්වා ලෝක ටෙස්ට් ශුරතාවේ අවසන් තරඟයට ක්‍රීඩා කරනු ලබනවා. ඉන් පසුව අගෝස්තු 5 සිට ඔවුන් නැවතත් එංගලන්තය සමඟ තරඟ 5කින් සමන්විත ටෙස්ට් තරඟාවලියකට ක්‍රීඩා කිරීමට නියමිතයි.

මාධ්‍ය වේදීන් විමසා ඇත්තේ ජූනි 22ත් අගෝස්තු 5ත් අතර කාලසමය තුළ IPL තරඟාවලියේ සෙසු තරඟ පැවැත්විය හැකිද යන්නයි. එවිට ගංගුලි පවසා තිබෙන්නේ ජුලි මාසයේ ඉන්දියාව ශ්‍රී ලංකාවේ තරඟ සංචාරයක නිරත වීමට නියමිත බැවින් එම කාලසමය තුළ IPL පැවැත්විය නොහැකි බවයි.

ඒ අනුව ගංගුලි පවසන ආකාරයට ඉන්දීය කණ්ඩායම් ජුලි මාසයේදී ශ්‍රී ලංකාවේ තරඟ සංචාරයකට සහභාගී වනු ඇති.

Leave a comment

Creedanet