සෝවියට් දේශය සහ ඇමරිකාව අතර ඔලිම්පික් බිමේ සීතල යුද්ධය!

ලෝකයේ මහා ක්‍රීඩා සැණකෙළිය ඔලිම්පික් උළෙල තව නොබෝ දිනකින් ජපානයේ ටෝකියෝ නුවර කේන්ද්‍ර කොටගෙන ආරම්භ වීමට නියමිත වනවා. ශ්‍රී ලංකාවේ ඔබව ඔලිම්පික් උළෙල පිළිබඳ දැනුවත් කිරීමට එහි අමරණීය ක්‍රීඩකයන් සහ අමරණීය අවස්ථාවන් පිළිබඳව ලිපි පෙළක් ගෙන ඒමට CREE-DA අපි අදහස් කොටගෙන සිටිනවා. මේ එහි තෙවැන්නයි.

ලෝක බලවතා වීමේ සටනේදී අභ්‍යවකාශ, යුධ ශක්තියෙන් පමණක් නොව ක්‍රීඩාවෙන්ද ලෝක බලවතා වීමට සෝවියට් දේශය සහ ඇමරිකාව උත්සාහ කළහ. එය ඔලිම්පික් උළලේදී අපූරු සටනක් බවට පත්විය. අද Creedanet ටෝකියෝවට යන පාර දිගේ ලිපි පෙලින් කතා කරන්නේ ඒ පිළිබඳවයි.

1948 ලන්ඩන් (එංගලන්තය)

සීතල යුද්ධය හරිහැටි ආරම්භ නොවී තිබුණ කාලයක් තමයි 1948 වර්ෂය කියන්නේ. දෙවනි ලෝක යුද්ධය අවසන් වූ විගසම ආරම්භ වුන මෙකී ඔලිම්පික් උළෙලට සෝවියට් දේශය තමන්ගේ සහභාගීත්වය එක් කරන්නෙ නෑ. මේ හේතුව නිසා පදක්කම් සටහනේ ප්‍රථම ස්ථානයට පැමිණීමට ඇමරිකාව ඉතාමත්ම පහසුවෙන් සමත් වෙනවා. 1948 ඔලිම්පික් උළෙලේ ප්‍රථම ස්ථාන තුන සටහන් වන්නේ,

  1. ඇමරිකාව – රන් 38 රිදී 28 ලෝකඩ 19
  2. ස්වීඩනය – රන් 16 රිදී 11 ලෝකඩ 17
  3. ප්‍රංශය – රන් 10 රිදී 6 ලෝකඩ 13

1952 හෙල්සින්කි (ෆින්ලන්තය)

සීතල ෆින්ලන්තයේ හෙල්සින්කි නගරයේ පැවති ඔලිම්පික් උළෙලට සෝවියට් දේශය තමන්ගේ කණ්ඩායමක් සහභාගී කරවනවා. ඒත් සමගින්ම ඇමරිකාවට මෙතෙක් නොසිටි සතුරා ඔලිම්පික් උළෙල තුළත් නිර්මාණය වන්නට පටන් ගන්නවා කිවහොත් නිවැරදියි. නමුත් මෙවරත් පදක්කම් සටහනේ පෙරමුණට එන ඇමරිකාව අසලට ළඟා වන්නට කිසිවෙකුට හැකියාවක් ලැබෙන්නේ නම් නෑ.

  1. ඇමරිකාව – රන් 40 රිදී 19 ලෝකඩ 17
  2. සෝවියට් දේශය – රන් 22 රිදී 30 ලෝකඩ 19
  3. හන්ගේරියාව – රන් 16 රිදී 10 ලෝකඩ 16

1956 මෙල්බර්න් (ඕස්ට්‍රේලියාව)

මෙවර තම ආධිපත්‍යය මුල් වරට ඔලිම්පික් උළෙල තුල විදහා පාන සෝවියට් දේශය මුල සිටම ඇමරිකාවට තම තර්ජනය විදහා පෑවා කිවහොත් නිවැරදියි. ක්‍රීඩා ඉසව් ගණනාවක් නියෝජනය කරන සෝවියට් ක්‍රීඩක ක්‍රීඩිකාවන් මුල් වරට ඔලිම්පික් උළෙලක පදක්කම් සටහනේ ආධිපත්‍යය ඔවුන් සතු කරගන්නේ ඇමරිකානු ආධිපත්‍යය බිඳ හෙලා දමමින්.

  1. සෝවියට් දේශය – රන් 37 රිදී 29 ලෝකඩ 32
  2. ඇමරිකාව – රන් 32 රිදී 25 ලෝකඩ 17
  3. ඕස්ට්‍රේලියාව – රන් 13 රිදී 8 ලෝකඩ 14

1960 රෝමය (ඉතාලිය)

ඉතාලියේ රෝමය කේන්ද්‍ර කරගනිමින් පැවති මෙකී ඔලිම්පික් උළෙල පුරාණ ඔලිම්පික් සිහිපත් කලා කිවහොත් නිවැරදියි. ඉතියෝපියාවේ බිකිලා වැනි අසාමාන්‍ය තරු මතුවූ මෙකී ඔලිම්පික් උළලේත් ඇමරිකානුවන් සහ සෝවියට් රුසියානුවන් කරට කර ගැටුණා. නමුත් පිට පිටම දෙවන වතාවටත් ඇමරිකානුවන් දෙවනි කිරීමට රුසියාවනුවන් සමත් වන්නේ සීතල යුද්ධයේ ක්‍රීඩා යුද්ධයේ ආධිපත්‍යය තමන් සතු කරගනිමින්.

  1. සෝවියට් දේශය – රන් 43 රිදී 29 ලෝකඩ 31
  2. ඇමරිකාව – රන් 34 රිදී 21 ලෝකඩ 16
  3. ඉතාලිය – රන් 13 රිදී 10 ලෝකඩ 13

1964 ටෝකියෝ (ජපානය)

මෙවර 2021 ඔලිම්පික් උළෙල පැවැත්වෙන්නේ ටෝකියෝ හීදී ය. ඊට ප්‍රථම 1964 ද ටෝකියෝ හීදි ඔලිම්පික් උලෙළක් පැවැත්විණි. මෙවරත් දෙපිළටම කරට කර සටනක් ය. නමුත් වසර 8 කට පෙර මෙල්බර්න් හීදි ගිලිහී ගිය තම ආධිපත්‍යය නැවත තමන් සතු කරගැනීමට ඇමරිකාව 1964 දී සමත් විය.

  1. ඇමරිකාව – රන් 36 රිදී 26 ලෝකඩ 28
  2. සෝවියට් දේශය – රන් 30 රිදී 31 ලෝකඩ 35
  3. ජපානය – රන් 16 රිදී 05 ලෝකඩ 08

1968 මෙක්සිකෝ සිටි (මෙක්සිකෝව)

මුහුදු මට්ටමෙන් අතිශය ඉහළ තැනකදී පැවතුන ඔලිම්පික් උළෙලකි. බොබී බීමන්ගේ පිම්ම ආදිය ජනප්‍රිය වුන මෙකී ඔලිම්පික් උළෙලට ඇමරිකාව සහ සෝවියට් දේශය පැමිණෙන්නේ තම සීතල යුද්ධය ඉහළටම ඇදී යන මොහොතේ කිවහොත් නිවැරදිය. යුරී ගගාරින්ගේ මුල්ම අභ්‍යවකාශ තරණයෙන් වැදුන පහර අකාමකා දැමීමට ඇමරිකානුවන් ඉක්මනින්ම සඳ තරණයක් අපේක්ෂා කල යුගය මෙය කිවහොත් නිවැරදිය.

එකී කාලයේ රුසියාවද සඳ තරණයට උත්සාහ දරමින් සිටි අතරම දෙපිළ බෙදී සිටි වියට්නාමයේ දරුණු සටන් ඇවිලෙමින් තිබුණි. මේ නිසා ඔලිම්පික් ජයග්‍රහණය දෙපිළටම අත්‍යාවශ්‍ය විය. මෙවර පදක්කම් සටහන දැක්වුනේ,

  1. ඇමරිකාව – රන් 45 රිදී 28 ලෝකඩ 34
  2. සෝවියට් දේශය – රන් 29 රිදී 32 ලෝකඩ 30
  3. ජපානය – රන් 11 රිදී 07 ලෝකඩ 07

1972 මියුනිච් (බටහිර ජර්මනිය)

ජර්මනියද දෙකට බෙදී තිබුණ යුගයේ මෙකී ඔලිම්පික් උළෙල සැලකෙන්නේ ලොව ඛේදජනකම ඔලිම්පික් උළෙල ලෙසටයි. එයට හේතුව වන්නේ පලස්තීන ගරිල්ලන් විසින් ඊශ්‍රායල ඔලිම්පික් කණ්ඩායම පැහැරගෙන ප්‍රාණ ඇපකරුවන් ලෙසට තබාගෙන සිට මරා දැමීමයි. මේ නිසා ඔලිම්පික් උළෙල අවලංගු කිරීමට ගොස් නැවත ආරම්භ වුණි.

ඇමරිකාවේ මාක් ස්පීට්ස් පිහිනීමෙන් රන් පදක්කම් 7ක් දිනාගෙන සෝවියට් රුසියා ඇමරිකා ප්‍රථම ස්ථානයට සවියක් වද්දී තෙවන සහ සිව්වන ස්ථාන වලට බටහිර ජර්මානුවන් සහ නැගෙනහිර ජර්මානුවන් සටන් වැදුණි. නමුත් ඔලිම්පික් උළෙල අවසන් වූයේ සෝවියට් දේශය නැවතත් තම ඔලිම්පික් බලය ලබා ගනිමිනි.

  1. සෝවියට් දේශය – රන් 50 රිදී 27 ලෝකඩ 22
  2. ඇමරිකාව – රන් 33 රිදී 31 ලෝකඩ 30
  3. නැගෙනහිර ජර්මනිය – රන් 20 රිදී 23 ලෝකඩ 23
  4. බටහිර ජර්මනිය – රන් 13 රිදී 11 ලෝකඩ 16

1976 මොන්ට්‍රියල් (කැනඩාව)

මූල්‍යමය වංචා විශාල වශයෙන් සිදු වුන කැනඩා ඔලිම්පික් උළෙල සැලකෙන්නේ ලොව දූශිතම ඔලිම්පික් උළෙල ලෙසටයි. ඔලිම්පික් ජිම්නාස්ටික් සටනේ සෝවියට් දේශය සහ ඇමරිකාව මෙතෙක් කල සටන බිඳ දැමූ 14 හැවිරිදි රුමේනියාවේ නාඩියා කොමෙන්සි ඔලිම්පික් උළෙලේ ජනප්‍රියම තරුව වූවා කිවහොත් මා නිවැරදිය. මෙය ඇමරිකානුවන්ගේ සිහින බිඳ වැටුන ඔලිම්පික් උළෙල කිවහොත් මා නිවැරදිය. මන්ද යත් සීතල යුද්ධයේ උච්ඡතම මොහොතේදී සෝවියට් දේශය ප්‍රථම ස්ථානය දිනා ගැනීම පමණක් නොව ඇමරිකාව දෙවන තැනින් තෙවන තැනට ඇද වැටීමයි.

  1. සෝවියට් දේශය – රන් 49 රිදී 41 ලෝකඩ 35
  2. නැගෙනහිර ජර්මනිය – රන් 40 රිදී 25 ලෝකඩ 25
  3. ඇමරිකාව – රන් 34 රිදී 35 ලෝකඩ 25

1980 මොස්කව් (රුසියාව)

රුසියාවේ මොස්කව් හීදී ඔලිම්පික් උළෙල 1980 වර්ෂයේ පැවැත්වීම ඇමරිකාවට මරු පහරක් වුනා. ඒ අනුව සීතල යුද්ධයේ තමන්ගේ දරුණුතම පස මිතුරන් සංවිධානය කරන ඔලිම්පික් උළෙල ඇමරිකානුවන් වර්ජනය කලා. ඔවුන් පමණක් නොව ඇමරිකානු හිතවාදීන් බොහොමයක්ද ඔලිම්පික් උළෙල වර්ජනය කලා. මේ හේතුව නිසා එවර ඔලිම්පික් ශූරතාවය දිනා ගැනීම සෝවියට් දේශයට පහසු කාරණයක් වූවා.

  1. සෝවියට් දේශය – රන් 80 රිදී 69 ලෝකඩ 46
  2. නැගෙනහිර ජර්මනිය – රන් 47 රිදී 37 ලෝකඩ 42
  3. බල්ගේරියාව – රන් 08 රිදී 16 ලෝකඩ 17

1984 ලොස් ඇන්ජලීස් (ඇමරිකාව)

1980 වර්ෂයේ ඇමරිකානුවන් රුසියා ඔලිම්පික් උළෙල වර්ජනය කරද්දී 1984 වසරේ ඇමරිකාව සංවිධානය කල ඔලිම්පික් උළෙල සෝවියට් දේශය විසින් වර්ජනය කර සිටියේ එකට එක කිරීමක් ලෙසටය. ඔවුන් අනුව යමින් සෝවියට් රුසියා හිතකාමී රටවලුත් ලොස් ඇන්ජලීස් ඔලිම්පික් උළෙල වර්ජනය කිරීමට කටයුතු කලා. කොමියුනිස්ට් පාර්ශවයන් ලොස් ඇන්ජලීස් ඔලිම්පික් උළෙල දිගින් දිගටම විවේචනයට සහ වර්ජනයට ලක් කරනු දක්නට ලැබුණා. මේ හේතුව නිසා ඇමරිකාව පහසුවෙන් ඔලිම්පික් පදක්කම් සටහනේ පෙරමුණ ගනිද්දී ප්‍රථම වතාවට ඔලිම්පික් උළෙලක අනාගතයේ තමන් තර්ජනයක් වන බවට චීනය ඉඟි පල කලා.

  1. ඇමරිකාව – රන් 83 රිදී 61 ලෝකඩ 17
  2. රුමේනියාව – රන් 20 රිදී 16 ලෝකඩ 17
  3. බටහිර ජර්මනිය – රන් 17 රිදී 19 ලෝකඩ 23

1988 සෝල් (දකුණු කොරියාව)

ඇමරිකානුවන් සහ සෝවියට් රුසියානුවන් රටවල් දෙකක් වශයෙන් කරට කර තරඟ වැදුන අවසන් ඔලිම්පික් උළෙල වන්නේ 1988 සෝල් ඔලිම්පික් උළෙලයි. එහිදීද ඇමරිකානුවන්ට පසු බැසීමට සිදු වූ අතර සෝවියට් දේශය ප්‍රථම ස්ථානයට පත් වද්දී ඇමරිකානුවන් නැවතත් තෙවන ස්ථානය තෙක් පසුබැස ගියා.

  1. සෝවියට් දේශය – රන් 55 රිදී 31 ලෝකඩ 46
  2. නැගෙනහිර ජර්මනිය – රන් 37 රිදී 35 ලෝකඩ 30
  3. ඇමරිකාව – රන් 36 රිදී 31 ලෝකඩ 27

1992 බාසිලෝනා (ස්පාඤ්ඤය)

මෙම සටහනේ අවසානයට කතා කරන්නේ බාසිලෝනා ඔලිම්පික් උළෙලයි. එය එක් පසෙකින් අතිශය රසවත් සුන්දර ඔලිම්පික් උළෙලක් වුනා. දශක ගණනාවක් පුරා පැවති බර්ලින් තාප්පය බිඳ හෙලූ බටහිර සහ නැගෙනහිර ජර්මානුවන් ඔලිම්පික් උළෙලට පැමිණියේ නැවතත් එක්සත්ව ජර්මනිය ලෙසටයි.

මෙතෙක් ඇමරිකාවට අභියෝග කරමින් පැවති සීතල යුද්ධය නිල වශයෙන් අවසන් වී තිබුණා. ඒ සෝවියට් දේශය කෑලි කෑලි වලට වෙන්වී කැඩී ගොස් තිබීම හේතුවෙනුයි. ඔවුන්ට ඔලිම්පික් කණ්ඩායමක් වත් ඉදිරිපත් කිරීමට නොහැකි තත්ත්වයටම අර්බුද නිර්මාණය වී තිබුණා.

ප්‍රශ්න රැසක ගිලී ගිය රටවල් ගණනකට වෙන් වී සිටි සෝවියට් රුසියා ක්‍රීඩක ක්‍රීඩිකාවන් නිසි ධජයක්ද නොමැතිව ඔලිම්පික් ධජය යටතේ ඒකාබද්ධ කණ්ඩායම ලෙසින් ඔලිම්පික් උළෙලට පැමිණීම අතිශය සුවිශේෂී සිදුවීමක් බවට පත් වුනා. ඔවුන් මෙකී ඔලිම්පික් උළෙලේ අවසාන පදක්කම් සටහනේ පෙරමුණ ගැනීම නිසා මෙකී ඔලිම්පික් උළෙල තවත් සුන්දර වූවා.

ක්‍රීඩාවට රට රටවල දේශපාලන යුධමය ප්‍රශ්න එක් කර ගැනීමෙන් වලකින ලෙසට ඒකාබද්ධ කණ්ඩායම නිහඬ පණිවිඩයක් ලබා දුන්නා. ඔලිම්පික් ධජයෙන් පැමිණි කණ්ඩායමක් ඔලිම්පික් පදක්කම් සටහනේ පෙරමුණ ලබාගත් ඉතිහාසයේ ප්‍රථම මෙන්ම එකම ඔලිම්පික් උළෙල වන්නේද 92 බාසිලෝනා ඔලිම්පික් උළෙලයි.

  1. ඒකාබද්ධ කණ්ඩායම – රන් 45 රිදී 38 ලෝකඩ 29
  2. ඇමරිකාව – රන් 37 රිදී 34 ලෝකඩ 37
  3. ජර්මනිය – රන් 33 රිදී 21 ලෝකඩ 28

සටහන නිමා කිරීමට ප්‍රථමව සාරාංශයක් ලෙසට දෙවන ලෝක යුද්ධයේ සිට 92 බාසිලෝනා දක්වා ඔලිම්පික් පදක්කම් සටහනේ,

සෝවියට් දේශය 6 වතාවක් ඇමරිකාව 5 වතාව සහ ඒකාබද්ධ කණ්ඩායම 1 වතාවක් වශයෙන් පෙරමුණ ලබා ගත්තා. සෝවියට් දේශය රටවල් ගණනාවක් ලෙසට වෙන් වී ස්වාධීන වද්දී එකී රටවල් වෙන වෙනම ඔලිම්පික් උළෙල නියෝජනය කරද්දී ඇමරිකානුවන් තම ආධිපත්‍යය ඔලිම්පික් උළෙල පුරා පවත්වා ගැනීමට සමත් වුනා.

ඉන් අනතුරුව පැවති 1996 ඇට්ලැන්ටා, 2000 සිඩ්නි, 2004 ඇතැන්ස්, 2008 බෙයිජිං, 2012 ලන්ඩන් සහ 2016 රියෝ යන ඔලිම්පික් උළෙලවල් 6න් 2008 බෙයිජිං හැරෙන්නට අනෙක් ඔලිම්පික් උළෙලවල් 5 ම ජයග්‍රහණය ඇමරිකාව සතු වුනා. දැන් රුසියාව පළමු ස්ථාන 3න් ද ගිළිහෙන බවක් පෙනෙන්නට ඇති අතර එදා රුසියාව මෙන් ඔලිම්පික් උලෙළේ ඇමරිකාවට නව ප්‍රතිවාදියෙක් හමු වී තිබේ. ඒ චීනයයි!

Author – Shaminda Jayarathne

Leave a comment

Creedanet