හසරංග හා චමීරගේ දක්ෂතා අපිට විශාල උපකාරයක් වේවි – විරාට් කෝලි

මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ ඉතිරි තරගයන් වෙනුවෙන් ශ්‍රී ලංකා ක්‍රීඩකයන් දෙපළක් වූ වනිදු හසරංග හා දුෂ්මන්ත චමීර , රෝයල් චැලේන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම සමගින් එක්විය. විස්සයි විස්ස ශ්‍රේණිගතකිරීම්හි දෙවන ස්ථානයෙහි රැදී සිටින වනිදු හසරංග හා වේගපන්දු යවන ක්‍රීඩක දුෂ්මන්ත චමීරගේ දක්ෂතා ඉදිරි තරගයන්හිදී විශාල උපකාරයක් වනු ඇතැයි බැංගලෝර් නායක විරාට් කෝලි සදහන් කොට ඇත.

වනිදු හා චමීර මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියට එක්වූයේ ඕස්ට්‍රේලියානු ක්‍රීඩකයන් වූ ඇඩම් සම්පා හා කේන් රිචඩ්සන් තරගාවලියට එක්නොවීම හේතුවෙනි. එම ක්‍රීඩකයන් දෙදෙනා නොමැති වුවද එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී ශ්‍රී ලංකා ක්‍රීඩකයන් දෙදෙනා හොදින් දක්ෂතා දක්වනු ඇතැයි විරාට් කෝලි විශ්වාසය පළ් කොට ඇත.

” ඇඩම් සම්පා හා කේන් රිචඩ්සන් පළමු අදියරේදී අපි සමග සිටියා. ඔවුන් කණ්ඩායමේ අනිවාර්ය ක්‍රීඩකයන් බවට පත්වුණා. නමුත් ඔවුන් දෙවන අදියර වෙනුවෙන් ක්‍රීඩා නොකිරීමට තීරණය කළා. ඒ අය වෙනුවට අපි තෝරගත් දෙදෙනා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ තත්වයන් හොදින් දන්නා ක්‍රීඩකයන් දෙදෙනෙක්. මෙම කාලයේදී උපමහද්වීපය තුළ ක්‍රීඩාංගණය වල තත්වයන් බොහෝ දුරට සමානයි” යනුවෙන් රෝයල් චැලේන්ජර්ස් බැංගලෝර් නායක විරාට් කෝලි අදහස් දක්වා ඇත.

” වනිදු හසරංග හා දුෂ්මන්ත චමීර ශ්‍රී ලංකාව වෙනුවෙන් බොහෝ තරග ක්‍රීඩා කරල තියෙනවා. ඔවුන් දන්නවා මෙම තණතීරුවල කොහොමද ක්‍රීඩා කරන්න ඕනෙ කියන එක. ඔවුන් දන්නව රස්නයට, පින්නට කොහොමද තණතීරු හැසිරෙන්නෙ කියන එක. ඩුබායිහි ක්‍රීඩා කරන විට ඔවුන්ගේ දක්ෂතා අපට මහත් උපකාරයක් වෙයි”

වනිදු හසරංගට රෝයල් චැලේන්ජර්ස් බැංගලෝර් කණ්ඩායමේ අවසන් ක්‍රීඩකයන් 11දෙනා අතර ස්ථානයක් හිමිවනු ඇතැයි ඉන්දීය Espncricinfo වෙබ් අඩවිය සදහන් කොට ඇත. වනිදු හසරංග සිය විස්සයි විස්ස දිවියේ තරග 17ක් ආසියානු උපමහද්වීපය තුළ ක්‍රීඩා කොට ඇති අතර එහිදී කඩුලු 26ක් දවාගැනීමට ඔහු සමත්ව ඇත්තේ 6.60ක දළ ලකුණු වේගයක් රදවාගනිමිනි.

වේගපන්දු යවන ක්‍රීඩක දුෂ්මන්ත චමීර මෙම වසරේදී විස්සයි විස්ස තරග 12කට ක්‍රීඩාකරමින් කඩුලු 15ක් දවාගැනීමට සමත් වූයේ 6.51ක් දළ ලකුණු වේගයක් සහිතවය. රෝයල් චැලේන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම එළඹෙන 20වනදා කොල්කටා නයිට්රයිඩර්ස් කණ්ඩායම සමගින් තරග වැදීමට නියමිතය.

Leave a comment

Creedanet