IPL තරගාවලියේ ඉතිරි තරග අද දිනයේදී ඇරඹෙයි

කොවිඩ් අවදානම හේතුවෙන් අතරමග නවතා දැමුණු ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ ඉතිරි තරගයන් අද දිනයේදී ආරම්භ වීමට නියමිතය. එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී පැවැත්වෙන තරගාවලියේ ඉතිරි කොටසේ සමාරම්භක තරගය වෙනුවෙන් IPL ඉතිහාසයේ සාර්ථකම කණ්ඩායම් යුගලය වන මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම හා චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම තරග වැදීමට නියමිතය.

මූලික වටයේ මේ වන විට තරග 29ක් පවත්වා අවසන් අතර මූලික වටයේ තවත් තරග 27ක් පැවැත්වීමට නියමිතය. එළඹෙන ඔක්තෝබර් මස 10 වනදා අර්ධ අවසන් පූර්ව වටයේ තරග ආරම්භ වන අතර අවසන් මහා තරගය ඔක්තෝබර් මස 15වන සිකුරාදා ඩුබායි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට සැලසුම් කොට ඇත.

මූලික වටයේ මෙතෙක් පැවති තරග අවසානයේදී ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ හිමිකරගැනීමට දිල්ලි කැපිටල්ස් කණ්ඩායම සමත් වී ඇත්තේ ක්‍රීඩා කළ තරග 8න් 6ක ජයග්‍රහණය හිමිකරගනිමිනි. එහි දෙවන හා තෙවන ස්ථාන පිළිවෙලින් චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම හා රෝයල් චැලේන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම හිමිකරගෙන ඇත.

තරගාවලියේ මෙතෙක් පැවති තරගයන්හිදී වැඩිම ලකුණු හිමිකරගනිමින් තැඹිලි පැහැති හිස්වැසුම හිමිකරගැනීමට ශිකර් ධවාන් සමත්වන්නේ තරග 8 තුළදී ලකුණු 380ක් රැස්කරමිනි. එහි දෙවන හා තෙවන ස්ථාන පිළිවෙලින් ලකුණු 331ක් හා 320ක් රැස්කළ ලෝකේෂ් රාහුල් හා ෆැෆ් ඩුප්ලේසිස් හිමිකොටගෙන ඇත.

මෙතෙක් පැවති තරගයන්හිදී වැඩිම කඩුලු දවාගත් පන්දු යවන්නා බවට පත් වන්නට රෝයල් චැලේන්ජර්ස් බැංගලෝර් ක්‍රීඩක හර්ෂාල් පටෙල් සමත් වන්නේ තරග 7ක් තුළ කඩුලු 17ක් බිදහෙලමිනි. ඒ අනුව වැඩිම කඩුලු ලාභියාට හිමි දම්පැහැති හිස්වැසුම හර්ෂාල් සතුවද්දී වැඩිම කඩුලු ලාභීන් අතර දෙවන හා තෙවන ස්ථාන අවේශ් ඛාන් හා ක්‍රිස් මොරිස්ට හිමිවී ඇත.

ප්‍රසාද ලකුණු සටහන

දිල්ලි කැපිටල්ස් – 12
චෙන්නායි සුපර් කිංග්ස් – 10
රෝයල් චැලේන්ජර්ස් බැංගලෝර් – 10
මුම්බායි ඉන්දියන්ස් – 8
රාජස්ථාන් රෝයල්ස් – 6
පංජාබ් කිංග්ස් – 6
කොල්කටා නයිට්රයිඩර්ස් -4
සන්රයිසස් හයිද්‍රාබාද් – 2

වැඩිම ලකුණු ලාභීන්

ශිකර් ධවාන් – 380
ලෝකේෂ් රාහුල් – 331
ෆැෆ් ඩුප්ලේසිස් – 320
ප්‍රිත්වි ශෝ – 308
සංජු සැම්සන් – 277

වැඩිම කඩුලු ලාභීන්

හර්ෂල් පටෙල් – 17
අවේශ් ඛාන් – 14
ක්‍රිස් මොරිස් – 14
රාහුල් චහර් – 11
රශීඩ් ඛාන් – 10

Leave a comment

Creedanet