Lionel Messi ට Barcelona හැර යාමට සිදුවූ සිදුවීම!

ලොව සිටිනා සුපිරිතම පාපන්දු ක්‍රීඩකයෙක් වන ආර්ජන්ටිනාවේ Lionel Messi හට වසර 17ක් පුරා තමන් ක්‍රීඩා කළ Barcelona ක්‍රීඩා සමාජය හැරයාමට පසුගියදා සිදුවිය. එකී සිදුවීම වසර ගණනක් පුරා Barcelona පරිපාලනයේ සිදුවූ වැරදි වල එක් ප්‍රතිඵලයක් ලෙසින් සඳහන් කළ හැකිය.

ස්පාඤ්ඤ ක්‍රීඩා සමාජයක් වන Barcelona ක්‍රීඩා සමාජයට පසුගිය සමය එතරම් හොඳ වූයේ නැත. ඔවුන් ක්‍රීඩා කරන ස්පාඤ්ඤයේ Laliga තරඟාවලියේ වැටුප් පිළිබඳව නව සංශෝධනයක් කරමින් සෑම ක්‍රීඩා සමාජයකටම ක්‍රීඩකයන් හට වැටුප් වශයෙන් ගෙවිය හැකි උපරිම මිලක් පනවන ලදී. මෙහිදී උපරිම මිල ලෙසින් මිල පනවන්නේ එකී ක්‍රීඩා සමාජය සතු වත්කම් සහ එකී ක්‍රීඩා සමාජයේ ණය ප්‍රමාණය මතයි.

මෙහිදී 2019/20 සඳහා වැටුප් වශයෙන් Barcelona කණ්ඩායමට යුරෝ මිලියන 648ක මුදලක් වැය කිරීමට අවසර ලැබුණි. නමුත් එකල සිටි Barcelona ක්‍රීඩා සමාජයේ සභාපති වූ Jose Maria Bartomeu විසින් විශාල මුදල් වලට ක්‍රීඩකයන් රැසක් එක් කර ගැනීම වැනි කාරණා නිසාවෙන් කණ්ඩායමේ ණය මුදල් වැඩි වෙමින් තිබුණි. මේ නිසාම 2020/21 තරඟවාරය සඳහා කණ්ඩායමට වැටුප් වශයෙන් ගෙවීමට හැකි මුදල යුරෝ මිලියන 368ක් දක්වා පහත වැටුණි.

මීළඟට යුරෝපයේ බොහෝමයක් දැවැන්ත ක්‍රීඩා සමාජ මුහුණ දුන් ප්‍රශ්නයක් බවට පත් වූයේ කොවිඩ් 19 වයිරස පැතිර යාම නිසාවෙන් ලැබෙන ආදායම් පහළ වැටීමයි. මේ නිසාවෙන් ඔවුන් විශාල වශයෙන් ණය වන ආකාරය දක්නට ලැබුණි. කෙසේ වෙතත් මේ තත්ත්වය උඩ Barcelona කණ්ඩායමේ ණය මුදල් යුරෝ බිලියන 1.2ක් දක්වා වැඩිවී තිබුණි.

මෙකී තත්ත්වය මත Barcelona කණ්ඩායමට එළඹෙන 2021/22 තරඟවාරය සඳහා වැටුප් වශයෙන් ගෙවීමට ස්පාඤ්ඤ ලීගයෙන් (Laliga) අවසර ලැබුණේ යුරෝ මිලියන 168ක් පමණි. මෙකී තත්ත්වය මත ක්‍රීඩකයන් හට වැටුප් ගෙවීමට නම් අනිවාර්යයෙන්ම වැටුප් කප්පාදුවකට යෑමට සිදු විය. මේ සඳහා ක්‍රීඩකයන් ගේ කැමැත්ත අවශ්‍ය වන්නේ කොන්ත්‍රාතුවෙන් පිට වැටුප් අඩු කිරීමට නම් අනිවාර්යයෙන්ම ක්‍රීඩකයන් ගේ කැමැත්ත අවශ්‍ය වන බැවිනි.

මේ මොහොතේදී Lionel Messi විසින් 50% කට වඩා වැඩි මුදලකට තම වැටුප කප්පාදු කිරීමට එකඟ විය. ඒ වැටුප් කප්පාදුවත් සමගින් වසර 5ක නව ගිවිසුම් කාලයකට එළඹීමටද Barcelona නායකයා එකඟ විය. ඒ අනුව ගිවිසුම අත්සන් කිරීමට සියලු කටයුතු සූදානම් කරන ලදී. නමුත් Messi නව ගිවිසුම අත්සන් කිරීමට පැමිණි දිනයේදීම Laliga ප්‍රධානීන් එයට විරුද්ධ වූයේ Barcelona කණ්ඩායම එවිට වැටුප් සීමා ඉක්මවා යන බව ප්‍රකාශ කරමිනි.

ඒ අනුව Barcelona කණ්ඩායමට Laliga ප්‍රධානීන් විසින් දෙවන විකල්පයක් හඳුන්වා දෙන ලදී. ඒ CVC කොන්ත්‍රාතුවයි. එහිදී සිදුවන්නේ නිළ විකාශන අයිතිය සමාගමට පවරා දීමයි. එහිදී එකී සමාගම විසින් ක්‍රීඩා සමාජ වලට යුරෝ මිලියන 272 ක මුදලක් ඒ වෙනුවෙන් ගෙවීමට සූදානම් වී තිබුණි. නමුත් එකී ගිවිසුමේ පරිදි විකාශන අයිතීන් වසර 50ක් දක්වා ලබාදීමට ක්‍රීඩා සමාජ එකඟ විය යුතුය.

නමුත් මේ සඳහා Barcelona කළමනාකාරීත්වය එකඟ නොවූයේ වසර 50 ක ගිවිසුමකට යටත් වීම තුළින් ක්‍රීඩා සමාජයට යම්කිසි දිනෙක හානියක් සිදු වීමට ඉඩ ඇති බැවිනි. මේ හේතුව නිසාවෙන් Messi ගේ නව කොන්ත්‍රාතුව ස්පාඤ්ඤ ලීගයේ නීතීන්ට යටත්ව අත්සන් කිරීමට නොහැකි විය. ඒ අනුව Messi හට කණ්ඩායමෙන් ඉවත් වනවා හැරෙන්නට වෙනත් විකල්පයක් ඉතිරි වූයේ නැත.

පවතින තත්ත්වය උඩ යුරෝපයේ වඩාත්ම ධනවත් ක්‍රීඩා සමාජයකට හැරෙන්නට වෙනත් ක්‍රීඩා සමාජයකට Messi ව ලබාගත නොහැකිය. මේ වන විට අරාබියේ ධන කුවේරයන් දෙදෙනෙක් සතු එංගලන්තයේ Manchester City කණ්ඩායම සහ ප්‍රංශයේ PSG කණ්ඩායම Messi ව ලබාගැනීමට වඩාත්ම ඉදිරියෙන් සිටියහ. නමුත් මෙකී සිදුවීම වීමට සුළු මොහොතකට පෙර Manchester City කණ්ඩායම විසින් එංගලන්ත ක්‍රීඩක Jak Grealish ව යුරෝ මිලියන 100 ක මුදලකට තම කණ්ඩායම හා එක් කරගන්නා ලදී. මේ නිසාවෙන් ඔවුන් Messi ව එක් කර නොගන්නා බව දැනුම් දෙන ලදී.

මේ නිසාවෙන්ම බොහෝමයක් විචාරකයන් සහ විශ්වාසනීය ආරංචි මාර්ග වලට අනුව Messi විසින් එළඹෙන දින කිහිපයේදී PSG සමගින් ගිවිසුම් ගත වන බවට සඳහන් කර සිටිති. එය වසරකට යුරෝ මිලියන 40 බැගින් වූ වැටුපකට වසර 2 ක අනිවාර්ය කොන්ත්‍රාත් කාලයක් සහ Messi හට අවශ්‍ය නම් එය තවත් වසරක් දක්වා දිගු කල හැකි ගිවිසුමකින් යුක්ත බවද වාර්තා වේ.

Featured Image – Getty Images

Leave a comment

Creedanet