ICC ය විසින් අවිශ්ක ව සියලු චෝදනා වලින් නිදහස් කරයි.

එමිරේට්ස් ක්‍රිකට් පාලක මණ්ඩලයේ දූෂණ විරෝධී නීති සංග්‍රහය යටතේ හිටපු ශ්‍රී ලංකා ක්‍රීඩක අවිෂ්කා ගුණවර්ධනට එරෙහිව එල්ල වූ චෝදනා දෙකක්  ස්වාධීන දූෂණ විරෝධී විනිශ්චය සභාවක් යටතේ විනිශ්චය කරනු ලැබුවා.මෙම දූෂණ චෝදනා හේතුවෙන් පුහුණුකරුවෙක් ලෙස කටයුතු කළ ගුණවර්ධන හට ක්‍රිකට් ක්‍රීඩාවට සම්බන්ද වීමට තහනමක්ද පනවා තිබුණා.

අද දිනයේදී අවිෂ්කට එරෙහි චෝදනා පිළිබඳව නිල නිවේදනයක් නිකුත් කළ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය සඳහන් කළේ ඔහු පිළිබඳ විමර්ශනය කළ දූෂණ විරෝධී විනිශ්චය සභාව අවිශ්ක ට එරෙහිව යොමුවී තිබූ චෝදනා දෙකෙන්ම ඔහුව නිදහස් කිරීමට ඒකමතිකව තීරණය කර ඇති බවයි.

ඒ අනුව මේ මොහොතේ සිට ම ක්‍රියාත්මක වන පරිදි  අවිශ්ක ගුණවර්ධන ට නැවතත් ක්‍රිකට් ක්‍රීඩාව හා සම්බන්ධව කටයුතු කිරීමට අවස්ථාව හිමිවන බවත් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් නිකුත් කර තිබූ මෙම  නිවේදනයේ සඳහන් කර තිබෙනවා.

ඒ අනුව අවිශ්ක ඔහුට එල්ල වී තිබූ සියලු චෝදනාවලින් නිදොස් කොට නිදහස් කර තිබෙන අතර මේ පිළිබඳව සිදුවන සමස්ත පරීක්ෂණය අවසන් වීමෙන් අනතුරුව ඔවුන් ඒ පිළිබඳව නිල නිවේදනයක් ද නිකුත් කරනු ඇති.

මෙම චෝදනා එල්ල වීමට පෙර "ශ්‍රී ලංකා A" කණ්ඩායමේ පුහුණුකරු ලෙසද කටයුතු කළ අවිශ්ක කලක් ශ්‍රී ලංකාව වෙනුවෙන් ජාත්‍යන්තර ක්‍රිකට් පිටිය තුළ විශිෂ්ට දක්ෂතා පෙන්වූ ක්‍රීඩකයෙක්.

අවිශ්ක ට අමතරව නුවන් සොයිසාට සහ දිල්හාර ලොකුහෙට්ටිගේ ට එරෙහිව දූෂණ විරෝධී චෝදනා එල්ල වී තිබුණු අතර එම චෝදනා වලට ඔවුන් වරදකරුවන් වීම හේතුවෙන් ඔවුන්ට ක්‍රිකට් ක්‍රීඩාව හා සම්බන්ධව කටයුතු කිරීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් තහනම් පනවා තිබෙනවා.

Image Source – Sky Sports

Leave a comment

Creedanet