SSC පිළ පැරදවූ යුධ හමුදා කණ්ඩායම අවසන් කණ්ඩායම් 4 අතරට.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ එක්දින තරගාවලියේ අවසන් පූර්ව වටයේ තරග අද දිනයේදී පැවැත්විණි. තරගාවලියේ සිව්වන අර්ධ අවසන් පූර්ව තරගය වෙනුවෙන් යුධහමුදා ක්‍රීඩා සමාජය හා එස් එස් සී ක්‍රීඩා සමාජය කොළඹ පී සරා ඕවල් ක්‍රීඩාංගණයේදී තරග බිමට පිවිසියහ.

තරගයේ කාසිය වාසිය හිමිකරගත් යුධහමුදා ක්‍රීඩා සමාජ කණ්ඩායම් නායක තිසර පෙරේරා පළමුව පන්දුවට පහරදීමට තීරණය කළේය. යුධහමුදා ක්‍රීඩා සමාජයට එතරම් දැවැන්ත ලකුණු පුවරුවක් නිර්මාණය කරන්නට එස් එස් සී පන්දු යවන්නන් ඉඩ නොතැබූහ. යුධහමුදා ඉනීම පන්දුවාර 48 පන්දු 2කදී ලකුණු 198කට සීමා විය.

යුධහමුදා ඉනීමේ වැඩිම ලකුණු ලාභියා බවට පත් වූ දුෂාන් විමුක්ති පන්දු 107කදී හතරේ පහර 3ක් සමගින් නොදැවුනු ලකුණු 55ක් රැස්කිරීමට සමත් විය. යුධහමුදා ලකුණු පුවරුව ඔසවා තබන්නට සුමින්ද ලක්ෂාන් ලකුණු 41කින්ද නායක තිසර පෙරේරා ලකුණු 32කින්ද දායක විය. පන්දු යැවීමේදී ප්‍රභාත් ජයසූරිය සිය පන්දුවාර 10 ලකුණු 32කදී යවා නිම කළේ ප්‍රතිවාදී කඩුලු 3ක්ද බිදහෙලමිනි.

ප්‍රබල පිතිකරුවන් රැසකගෙන් සමන්විත එස් එස් සී කණ්ඩායමට මෙම ඉලක්කය හබායාම තරමක් අසීරු විය. ධනුෂ්ක ගුණතිලක , අවිශ්ක ප්‍රනාන්දු , චරිත් අසලංක ඇතුළු එස් එස් සී පිතිකරණ ලයිස්තුව අසරණ කරන්නට යුධහමුදා පන්දු යවන්නන් සමත් වන්නේ ලකුණු 101කදී කඩුලු 7ක් දවාගනිමිනි.

නමුත් සටන අත්නොහැරි අංක නවය පිතිකරු හිමේෂ් රාමනායක පන්දු 59කදී ලකුණු 54ක් රැස්කිරීමට සමත් වන්නේ ඉනීමේ වැඩිම ලකුණු ලාභියා බවට පත් වෙමිනි. පන්දුවාර 47 එක් පන්දුවක් තුළදී එස් එස් සී ඉනීම නිමාවට පත් වන්නේ ලකුණු 181ක් පමණක් ලකුණු පුවරුවට එක් කරමිනි.

අන්තර් සමාජ පන්දුවාර විස්ස තරගාවලියේ ශූරතාවය යුධහමුදා කණ්ඩායමෙන් උදුරාගත් ප්‍රබල එස් එස් සී කණ්ඩායම මෙවර ඔවුන් හමුවේ ලකුණු 17කින් පරාජයට පත් විය. යුධහමුදා ක්‍රීඩා සමාජය වෙනුවෙන් විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ සුමින්ද ලක්ෂාන් හා අසේල ගුණරත්න කඩුලු 3 බැගින් දවාගන්නට සමත් විය.

යුධහමුදා ක්‍රීඩා සමාජය : 198-10 (48.2)
දුෂාන් විමුක්ති* 55(107), සුමින්ද ලක්ෂාන් 41(70), තිසර පෙරේරා 32(27), අසේල ගුණරත්න 22(31)
ප්‍රභාත් ජයසූරිය 3/32, ලක්ෂිත මානසිංහ 2/20, ධනුෂ්ක ගුණතිලක 1/26, ජෙෆ්රි වැන්ඩසේ 1/37

එස් එස් සී ක්‍රීඩා සමාජය : 181-10 (47.1)
හිමේෂ් රාමනායක 54(59), ක්‍රිෂාන් සංජුල 33(59), අවිශ්ක ප්‍රනාන්දු 32(42)
සුමින්ද ලක්ෂාන් 3/30, අසේල ගුණරත්න 3/46, සීක්කුගේ ප්‍රසන්න 2/38, මහේෂ් තීක්ෂණ 1/28

යුධහමුදා ක්‍රීඩා සමාජයට ලකුණු 17 ජයක්.

Leave a comment

Creeda Sports Network