St Kitts and Nevis Patriots කණ්ඩායම පළමු වරට CPL ශූරතාවය දිනාගනී..

නවවන කැරීබියන් ප්‍රිමියර් ලීග් තරගාවලියේ අවසන් මහා තරගය ඊයේ දිනයේදී පැවැත්විණි. අවසන් මහා තරගය වෙනුවෙන් මෙවර සුදුසුකම් ලැබූයේ ඇන්ඩ්‍ර ෆ්ලෙචර්ගේ නායකත්වයෙන් යුතු ශාන්ත ලුසියා කිංග්ස් කණ්ඩායම හා ඩ්වෙයින් බ්‍රාවෝගේ නායකත්වයෙන් යුතු ශාන්ත කිට්ස් & නෙවිස් ප්‍රිටියට්ස් කණ්ඩායමයි. තරගයේ කාසිය වාසිය හිමිකරගත් ඇන්ඩ්‍ර ෆ්ලෙචර් පළමුව පන්දුවට පහරදීමට තීරණය කළේය.

නමුත් ශාන්ත ලුසියා ඉනීමට ලකුණු 25ක් එක්වන විට නායක ඇන්ඩ්‍ර ෆ්ලෙචර් දවාගැනීමට ෆවඩ් අහමඩ් සමත් විය. පිතිකරුවන් තිදෙනෙකු හැරුනු කොට අනෙකුත් ක්‍රීඩකයන් කිසිවෙකු ලකුණු 15 සීමාව ඉක්මවන්නට අපොහොසත් වූහ. ඉනීමේ වැඩිම ලකුණු ලාභීන් බවට පත් වූ ආරම්භක පිතිකරු රකීම් කොන්වෝල් පන්දු 32කදී ලකුණු 43ක්ද රොස්ටන් චේස් පන්දු 40කදී ලකුණු 43ක්ද රැස්කිරීමට සමත් වූහ.

ඉනීමේ අගභාගය වේගවත් කරන්නට කීමෝ පෝල් සමත් වන්නේ පන්දු 21ක් තුළදී හයේ පහර 5ක් සමගින් ලකුණු 39ක් රැස්කරමිනි. නියමිත පන්දුවාර විස්ස තුළදී ශාන්ත ලුසියා කිංග්ස් කණ්ඩායම කඩුලු 7ක් දැවී ලකුණු 159ක් රැස්කිරීමට සමත් වූහ. පන්දු යැවීමේදී ශාන්ත කිට්ස් කණ්ඩායම වෙනුවෙන් නසීම් ශාහ් හා ෆවඩ් අලාම් කඩුලු 2ක බැගින් දවාගැනීමට සමත් විය.

ලකුණු 160ක ඉලක්කය වෙනුවෙන් ශාන්ත කිට්ස් ඉනීම ආරම්භ කළේ ක්‍රිස් ගේල් හා ඊවන් ලෙවිස්ය. සුපිරි පිතිකරු ක්‍රිස් ගේල් ලකුණු නොලබා ක්‍රීඩාගාරයට හරවා යවන්නට රොස්ටන් චේස් සමත් වූයේ ඉනීමේ සිව්වන පන්දුවෙහිදීය. වහබ් රියාස්ගේ පන්දුවක් හමුවේ ඊවන් ලෙවිස් ලකුණු 6කදී දැවීයන්නේ රොස්ටන් චේස් රැකගත් විශිෂ්ට උඩපන්දුව හේතුවෙනි. අනතුරුව ජෝෂුවාද සිල්වා හා ෂර්ෆේන් රදර්ෆඩ් තෙවන කඩුල්ල වෙනුවෙන් ලකුණු 45ක් එක් කරන්නට සමත් විය.

ජෝෂුවාද සිල්වා පන්දු 32කදී ලකුණු 37ක්ද ශර්ෆේන් රදර්ෆඩ් පන්දු 22කදී ලකුණු 25ක්ද රැස්කිරීමට සමත් වූහ. නායක ඩ්වේන් බ්‍රාවෝ ලකුණු 8කට දැවීයද්දී ඩොමිනික් ඩ්‍රේක්ස් හා ෆේබියන් ඇලන් කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන යාමට වෑයම් කළහ. ෆේබියන් ඇලන් පන්දු 18කදී ලකුණු 20ක් රැස්කොට සිටියදී දවාගැනීමට වහබ් රියාස්ට හැකිවිය.19වන පන්දුවාරයේ පස්වන පන්දුවේදී ශෙල්ඩන් කොට්‍රේල් දුවද්දී දැවීයාමට හසු වන විට ජයග්‍රහණයට පන්දු 7කදී ලකුණු 9ක් අවශ්‍ය විය. අවසන් පන්දු 2ක තුළදී ජයග්‍රහණයට ලකුණු 5ක් අවශ්‍ය වූ අතර ඩොමිනික් ඩ්‍රේක්ස් එක්ට්‍රා කවර් කලාපයෙන් අගනා හතරේ පහරක් එල්ල කිරීමට සමත් විය.

කෙස්‍රික් විලියම්ස් යොමුකළ අවසන් පන්දුවේදී එක් ලකුණක් ලබාගනිමින් ශාන්ත කිට්ස් & නෙවිස් ප්‍රිටියට්ස් කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන යාමට ඩොමිනික් ඩ්‍රේක්ස් සමත් විය. ඒ අනුව පළමු වරට කැරීබියන් ප්‍රිමියර් ලීග් තරගාවලියේ ශූරතාවය හිමිකරගැනීමට ශාන්ත කිට්ස් & නෙවිස් ප්‍රිටියට්ස් කණ්ඩායම සමත් විය. තරගයේ වීරයා ලෙසින් පන්දු 24කදී හතරේ පහර හා හයේ පහර 3 බැගින් එල්ල කරමින් විශිෂ්ට ලකුණු 48ක් රැස්කළ ඩොමිනික් ඩ්‍රේක්ස් සම්මාන ලබද්දී තරගාවලියේ වීරයා බවට රෝස්ටන් චේස් සම්මානයට පාත්‍ර විය.

සාරාංශය

ශාන්ත ලුසියා කිංග්ස් : 159-7 (20.0)
රකීම් කොන්වෝල් 43(32), රෝස්ටන් චේස් 43(40), කීමෝ පෝල් 39(21)
නසීම් ශාහ් 2/26, ෆවඩ් අලාම් 2/32

ශාන්ත කිට්ස් & නෙවිස් ප්‍රිටියට්ස් : 160-7 (20.0)
ඩොමිනික් ඩ්‍රේක්ස්* 48(24), ජෝෂුවාද සිල්වා 37(32), ශර්ෆේන් රදර්ෆඩ් 25(22)
වහබ් රියාස් 2/36, රෝස්ටන් චේස් 1/17

Leave a comment

Creedanet